බිරිඳගේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ද ලබා ගෙන ඇති බව කියන සැකකාර සැමියකු ලබන (25) දා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය ඉකුත් (17) පස්වරුවේ නියෝග කළාය.   මීරිගම ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. උදයංග සංජීව නැමැත්තකු එසේ රිමාන්ඩ් කැරිණි. සැකකරුගේ විවාහක බිරිඳ වන පන්නල ප්‍රදේශයේ පදිංචි නදීෂා හේමමාලි නැමැත්තිය පවුල් ආරවුලක් හේතුවෙන් එකම දරුවාට හා ඇයට නඩත්තු ලබා ගැනීම සදහා නඩත්තු නඩුවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකාර සැමියාට එරෙහිව පවරා තිබියදී බිරිඳගේ නමට ඇති මීරිගම ප්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස්  කොට බිරිඳගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සැකකරු ඔහුගේ නමට එම ඉඩම ලියාගෙන

මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ද ලබාගෙන ඇති බව  කියන සිද්ධියක් සම්බන්ධව ගම්පහ කොට්ඨාස  විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.


මෙහිදී අගතියට පත් පාර්ශ්ව ය වෙනුවෙන් පෙනී  සිටි නීතිඥ සම්පත් කස්තුරිරත්න මහතා කරුණු දක්වමින් සැකකරුත් පැමිණිලිකාර බිරියත් අතර  පවුල් ආරවුලක් ඇති වී ඇය දැනට දරුවා සමග  පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටින බව කියා  සිටියේය.  පැමිණිලිකාරිය සැකකරුට එරෙහිව නඩත්තු නඩුවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බවත් එයට අමතරව ඇය දික්කසාද නඩුවක් ද සැමියාට එරෙහිව පවරා ඇති බවද නීතිඥවරයා   කීය.  එම නඩුවලට සැකකරු එම අධිකරණය ඉදිරියේ  පෙනී සිට නැති බවත් පැමිණිලිකාරියන්ගේ නමට ඇති මීරිගම ප්‍රදේශයේ ඉඩමකට සැකකරු ව්‍යාජ  ඔප්පුවක් සකස් කොට ඇයගේ අස්සනට සමාන ව්‍යාජ අස්සනක් යොදා සැකකරුගේ නමට ලියා  ගෙන මූල්‍ය ආයතනයක්ද නොමග යවා ණය මුදලක් ලබා ගෙන තිබියදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව ද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.




මෙහිදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා කරුණු දක්වමින් පැමිණිලිකාර බිරිඳගේ අස්සන් ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ ඔප්පුවක් සකස් කොට ඇති බව රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව කියා සිටියේය. නැවත කැඳවීම මේ මස 25 වැනිදාට කල් තැබිණ.  සැකකරු වෙනුවෙන් නීතිඥ චමින්ද ගුණවර්ධන මහතාත් උත්පලා දයාරත්න හා චතුරාණි පතිරණ යන නීතිඥ මහත්මීහු පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සම්පත් කස්තුරිරත්න මහතා පෙනී සිටියේය.


 -ආනන්ද ඉ. ජයකොඩි-