icc-twenty20-2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ආසන ධාරිතාවයෙන් 70%ක් දක්වා ප්‍රේක්ෂකයන් ගෙන්වීමට සැලසුම් කර තිබේ.  ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ ඒ සඳහා මේ වන විටත් සුදානම් කෙරෙමින් පවතී.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, කෝවිඩ්-19 වසංගතය පසුගිය කාලය පුරා තරගාවලි රැසකට සෘජුව සහ වක්‍රව බලපා ඇති බවයි. ක

ෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් තරගාවලිය මෙය වන නිසා ප්‍රේක්ෂකයන්ට එහි ආස්වාදය විඳීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවත්, ඒ අනුව ආසන ධාරිතාවෙන් 70%ක් දක්වා ප්‍රේක්ෂකයන් ගෙන්වීමට යෝජනා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ. ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට ඉඩ සැලසීමට සියලුම ක්‍රීඩාංගණඑ සූදානම් කර ඇති බවද අයි.සී.සී.ය පවසයි.මෙම වසරේ ජුනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්. තරගාවලියේ දෙවන භාගය) නරඹන්නන් සඳහා විවෘත නොවූ අතර, මේ වන විටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්.) සඳහාද අඩු ධාරිතාවකින් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණවලට කැඳවීමට පියවර ගෙන තිබුණි.අයි.පී.එල්. තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම ලෝක කුසලානය සඳහා වූ නියමු ව්‍යාපෘතියක්, එසේත් නොමැතිනම් පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රේක්ෂකයන් තරගවලට කැඳවීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි.) සමීපව කටයුතු කර ඇති අතර, ආරක්‍ෂිත පරිසරයක් තුළ ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට නියමිතය. ඒහිදී කෝවිඩ්-19 ප්‍රොටෝකෝල සෑම ස්ථානයකටම අදාළව කිරීමට අයි.සී.සී.ය සූදානම් බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ විස්සයි20 ලෝක කුසලානය සඳහා වන ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවි කර අවසන් බව වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලානය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේදී වන අතර, මෙම වසරේ මුල් භාගයේදී එරට පැවති කෝවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය සහ අයි.පී.එල්. තරගාවලියද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යන ලදී. පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම මස 17දා ඕමානයේ මස්කට්හිදී ආරම්භ වීමට නියමිතය.

(පැතුම් ශ්‍රී විජේරත්න )