නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමග පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල ලබන සඳුදා (4) සිට විවෘත කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. කාර්යාල විවෘත කළ ද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවා ඇති බවත්  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශ හරහා අයැදුම්පත් බාරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා කීය.  හැඳුනුම්පත් සකස් කර අයදුම්කරුගේ පෞද්ගලික ලිපිනයට තැපෑලෙන් යොමු කරන බව කී වියානි ගුණතිලක මහතා කලින් අයැදුම්පත් බාරදුන් අයැදුම්කරුවන්ට හදිසි අවශ්‍යතාවක් සදහා හැඳුනුම්පත අවශ්‍ය නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට හෝ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට පැමිණීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව ද සඳහන් කළේය.



බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය (0115226126 හෝ 0115226100), දකුණු පළාත් කාර්යාලය (0912228348), වයඹ පළාත් කාර්යාල (0372224337), උතුරු පළාත් කාර්යාලය (0242227201) සහ නැගෙනහිර පළාත් කාර්යාලය (0652229449) යන ස්ථානවල දුරකථන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවද ඔහු කීවේය.