jatila-ranasinghe

කලින් කලට රටට නව ආයෝජන ව්‍යාපෘති එද්දී සැණින් කෑ මොර දෙන අයට අලුතෙන් කියන්නට දෙයක්  වේ නම් එය ඔවුන්ගේ පැවැත්ම වේ. ඇතැම් අය සැබෑ දේශ ප්‍රේමීත්වය වෙනුවෙන් ද, තවත් අයෙක් තම පෞද්ගලික කරුණු කාරණා වෙනුවෙන්ද කෑ මොර දෙති. මේ දවස්වල එලෙස හැසිරෙන අයට අලුත් දෙයක් තිබේ.  ඒ ඇමරිකාවේ “නිව්ෆෝට්‍රස්" බලශක්ති සමාගමයි. ලංකාවේ මේ දිනවල අතිශය ජනප්‍රිය සමාගම, එම ඇමෙරිකානු සමාගම යැයි සඳහන් කළහොත් එය ඉතාම නිවැරදිය.  කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර සංකීරණයේ ආයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා රජය සමග මූලික ගිවිසුම් වලට එළැඹීමත් සමග නිව්ෆෝට්‍රස් සමාගම ගැන පසුගිය සතිය පුරා දේශපාලනඥයන් හා විවිධ සමාජ නියෝජිතයෝ අදහස් දැක්වූහ. කාගේත් දැඩි අවධානයක් යොමු වී ඇති ඇමෙරිකාවේ නිව්ෆෝට්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ ශ්‍රී ලංකාවේ උපන් ජටිල රණසිංහ මහතාය. මෙරට ඉපිද , හැදී වැඩී පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා පසුව ඇමරිකාවට සංක්‍රමණය වූ ජටිල රණසිංහ මහතා වෘත්තීයයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වේ. මේව්වන විට තමා සතුව නිර්මාණ 43 ක  පේටන්ට් බලපත්‍ර ඇති විශිෂ්ටයෙකු වන ජටිල රණසිංහ මහතා නිව්ෆෝට්‍රස් සමාගම හා සම්බන්ධ වන්නේ 2018 වසරේදීය.




ජටිල රණසිංහ මහතා 2018  වසරේ දී නිව්ෆෝට්‍රස් බලශක්ති සමාගමට සම්බන්ධ වුවද ඔහු එම ක්ෂේත්‍රයේ වැඩ කළ පළමු අවස්ථා එය නොවේ. නමුත් බලශක්ති යටිතල පහසුකම් සමාගමක් මුල සිටම ගොඩ නැගීමට උදව් කිරීමට ඔහු කටයුතු කළ පළමු අවස්ථාව  මෙය බව නිව්ෆෝට්‍රස් සමාගම කියා සිටිනුයේ මහත්  අභිමානයෙනි.නිව්ෆෝට්‍රස් බලශක්ති සමාගමේ  කළමනාකරණ අධ්‍යක්ෂ සහ බලශක්ති ප්‍රධානීයා වන ජටිල රණසිංහ මහතා බලශක්ති කර්මාන්තයේ වැඩ කිරීමේ ඉතිහාසයක් ඇති පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන හා ඉංජිනේරු විධායක නිලධාරියෙකි.  දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය ද  හිමිකර ගෙන සිටින මේ විශේෂඥයා  ඉංජිනේරු හා බලශක්ති ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා වසර 23 කට පසුවත්, විශේෂයෙන්ම පසුගිය වසර පහක කාලය  තුළදීත් විවිධ නිෂ්පාදන කාර්යයන්ට නායකත්වය දෙමින් නිවිෆෝටස් හී සාර්ථකත්වය වෙනුවෙන් කැප වී සිටින්නේ "මගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීමට මට බොහෝ උපදේශකයින් සහ මිතුරන් සිටියා" යැයි සඳහන් කරමිනි.


ජටිල හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ වන අතර එහිදී ඔහුගේ මව අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දිරිමත් කළාය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ශාස්ත්‍රපති උපාධිය අධ්‍යාපනයට ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටීය. ඔහුට ලැබුණු පන්නරය පසුපස තම මව සිටින බව සිහිපත් කරනුයේ මහත් ගෞරවයෙනි. ඇමෙරිකාවේ පාසල් සමාගමේ තෙල් හා ගෑස් අංශයේ ජ්‍යෙෂ්ඨ තාප හුවමාරු ඉංජිනේරුවරයෙකු ලෙස වසර හයක් වැඩ කිරිමෙන් පසු ජටිල වෙනසක් සඳහා සුදනම් විය.


"මම අමාරු ගැටලු විසඳීමට, අලුත් අලුත් දේ ඉගෙන ගැනීමට සහ විශිෂ්ට කණ්ඩායම් වල සාමාජිකයෙකු වීමට කැමතියි," ඔහු සිහිපත් කරයි. ජපානයේ ප්‍රථම එච්. පන්තියේ ඒකාබද්ධ චක්‍ර ගෑස් ටර්බයින බලාගාරය සංවර්ධනය කිරිමේ බලශක්ති  උත්පාදනය සැලසුම් කිරීම දක්වා වූ ගැටලු සඳහා ඔහු සිය ඉංජිනේරු දැනුම උපයෝගී කරගනිමින් සිටින්නේය.




ඔහු සතුව දැනට පේටන්ට් බලපත්‍ර 43 ක් පවතී. ‘‘බලය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරිමට සහ පරිසරය පිරිසිදු කිරීමට ලෝකයට උපකාර කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට මම කැමතියි" ඔහු කියා සිටින්නේය.  බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සමාගමේ හවුල්කරුවකු සහ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස නිව් ෆෝට්‍රස් සමග සම්බන්ධ වීමට ලැබීම ගැන තමා ඉතාමත් සතුටු වන බව ද ඔහු කියා සිටින්නේය.  “ලෝකයේ අනාගතය හැඩ ගැස්වීමට උදව් කරන්නේ ජටිල වැනි අයයි - ඔහු අපේ කණ්ඩායමට සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු. මේ නිව් ෆෝට්‍රස්  සමාගම සතු අභිමානයයි. ඒ අභිමානයේ මුල් පුරුක ලංකාවේ වීම සතුටක් වන්නේය." එම සමාගම කියයි. නිව්ෆෝට්‍රස්  සමාගම මෙරට සිදු කරන ප්‍රධන ආයෝජනය වන්නේ කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර අංගනයය, යුගදනවි බලාගාරයේ ආයෝජනය කිරීම සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයුම ප්‍රධාන වේ. එහිදී මෙගාවොට් 310ක විදුලිය උත්පාදනය කරන යුගදනවි බලාගාරයේ ආයෝජනය කිරීමටත් නව එල්.එන්.ජී අංගනයක් ද ඉදි කෙරේ .


මෙම ආයෝජන ව්‍යාපෘතිය හරහා නිව්ෆෝට්‍රස්  සමාගම "වෙස් කොස්ට් පවර් ලිමිටඩ්" හි සියයට 40ක කොටස් අත්පත් කර ගන්නා අතර කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ද සිදු කිරිමට නියමිතය.දෙනිකව ද්‍රව ස්වභාවික වායු ගැලුම් දොළොස් ලක්ෂයක් මෙරට එල්.එන්.ජි බලාගාර සඳහා සැපයීමට ද කටයුතු කරනු ලැබේ.


(නිව්ෆෝට්‍රස්  එනර්ජි සමාගමේ නිල වෙබ්  අඩවිය ඇසුරෙනි)
-තිළිණ ද සිල්වා-