වත්මන් ආණ්ඩුව වියත්මග නම් සංවිධානයක් හඳුන්වාදී රටේ උගතුන් විනාශ කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

වියත්මගේ සාමාජිකයන්ට බාරදුන් වගකීම් ඉටුකිරීමට එක් අයෙක් හෝ සමත්වී නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කළුතර රෝයල් පාම් හෝටලයේ පැවති 'අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ' කළුතර ආසනයේ නියෝජිත හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

රටේ අනාගතය, තරුණ පරපුරේ අනාගතය ගැන නොසිතා තනතුරු පිළිබඳව පමණක් සිතුවේ නම් තමා අද වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපතිවරයාට රට භාර නොදෙන ලෙස තමන් මැතිවරණයට පෙර පුන පුනා ප්‍රකාශ කළ බවද සඳහන් කළේය. අද රට අගාධයට වැටී ජනතාවට යන එන මං නැතිවී ඇති බවත් රට දූෂිතයන්ගෙන්, පගා කාරයන්ගෙන් පිරී ඇති බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරයා, ඔවුන් විසින් රටේ දේපළ සහ සම්පත් කුණුකොල්ලෙට විකුණමින් සිටින බව පැවසිය.

මේ සියල්ල බලා සිටීමට නොහැකි තරුණ පරපුර අද රට අතහැර යාමට සුදානම් වන බවද පෙන්වා දුන් මන්ත්‍රී වෙල්ගම, දේශපාලන බඩ ගෝස්තර න්‍යාය වෙනුවට රටකට අවශ්‍ය වන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්ති බවද අවධාරණය කළේය. කුමන දේශපාලන පක්ෂය බලයට පැමිණියද එම ජාතික ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වීම අනිවාර්ය කළයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.සිය පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා කරන බව මෙහිදී ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, රටේ අධිකරණ වලින් මිනී මැරුම් වලට වරදකරුවන් වූ අයව එක පෑන් පහරින් නිදහස් කර, තනතුරු සහ ප්‍රජා අයිතිය ලබා දීම නොකළ යුතු වැඩ බවත්, එම බලතල සම්පුර්ණයෙන් ඉවත් කළ යුතු බවත්,

පාර්ලිමේන්තුවට වග කියන නාමික ජනාධිපතිවරයෙක් මේ රටට ප්‍රමාණවත් බවද පෙන්වා දුන්නේය. 'අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ' නායකයා වශයෙන් වාමාංශික සියලු පක්ෂ සහ බලවේග එක්කර පුළුල් සන්ධානයක් ගොඩනගමින් සිටින බවත් සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් එම පුළුල් සන්ධානය ගොඩ නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවසර ලබාදී තිබෙන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ මන්ත්‍රී වෙල්ගම, වමේ සියලු පක්ෂ එක්වී මෙම 'දුර්දාන්ත ආණ්ඩුව' පරාජය කළ යුතු බවද අවධාරණය කළේය.

බන්දු තිලක තඹවිට - මතුගම