ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට ඇති හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගව තුරුම්පුවක් ලෙස යොදාගන්නා බවත්, අවශ්‍යම අවස්ථාවේදී එම තුරුම්පුව එළියට ඇදීමක් ලෙස අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඔහු පිතිකරු ලැයිස්තුවේ ඉහළට ගෙන ඒම සඳහන් කළ හැකි බවත් මහීෂ් තීක්ෂණ පවසයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ මුලීක වටය යටතේ අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්රීඩාගණයේදී පෙරේදා (20දා) පැවැති තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ ඒ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.
"වනිඳු අයියා තමයි අපිට ඉන්න තුරුම්පුව. එයාට ඕනෑම තැනක පන්දුවට පහර දෙන්නට පුළුවන්. මේ තරගයේදී අපි එයාව ටිකක් කලින් යවලා බැලුවා. එතැනදි එයා, එයාගෙ වැඩේ හරියට කරලා පෙන්නුවා. කඩුලු 03ක් බිඳවැටිලා තිබුණ වෙලාවෙ වනිඳු අයියා අල්ලා ගහපු ඒ ඉනිම නිසා තරගය සම්පුර්ණයෙන්ම වෙනස් වුණා”
යැයි තීක්ෂණ සඳහන් කළේය.
ලකුණු 08කට කඩුලු 03ක් බිඳවැටීමත් සමග අලුත් උපක්‍රමයක් අනුගමනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය, අංක 05 ස්ථානයේ පන්දුවට පහරදෙන භානුක රාජපක්ෂ තවදුරටත් ක්‍රීඩාගාරයේ රඳවා ගනිමින් වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා දුන්නේය. ලද අවස්ථාවෙන් උපරීම ඵල නෙළාගත් වනිඳු, පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමග වේගවත් ලකුණු 71ක් රැස්කරමින් කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය.
සාමාන්‍යයෙන් වනිඳු පන්දුවට පහරදෙන ස්ථානය අංක 07 වුවත්, එම අවස්ථාවේදී ඔහු අංක 05 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා යොදවා ඇත්තේ මහේල ජයවර්ධන මහතාගේ උපදෙස්වලට අනුව බවද, කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.මේ වන විට ශ්‍රී ලංකාව තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින නමුත්, ඉන් පෙර සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කිරීමට සිදුවීම තුළින් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වූ බවද මාධ්‍ය හමුවේදී තීක්ෂණ පැවසීය. කෙසේ වුවත් සුදුසුකම් ලැබීමේ වටය තුළදී උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධන මහතාගේ සේවය ලබාගැනීමට හැකි වීම නිසා එම පීඩනය සමනයට පත්වූ බවද එහිදී තීක්ෂණ වැඩිදුරටත් කියා සිටියේය.
මහේල අයියා කණ්ඩායමත් එක්ක දිගටම ඉන්නවට අපි කැමතියි. ඒත් මං හිතන්නෙ නෑ එයාට දිගටම ඉන්න පුළුවන් වෙයි කියලා. එයා ආවට පස්සෙ කණ්ඩායම තුළ ලොකු ධනාත්මක බවක් ඇතිවෙලා තියෙනවා.
ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හදන එක තමයි එයා වැඩිපුරම කරනෙ. කවුරු පන්දුවට පහරදෙන්න ගියත්, කවුරු පන්දු යවන්න ගියත් එයා පැහැදිලි සැලැස්මක් දෙනවා මේ වෙලාවෙ මේකයි වෙන ඕන කියලා. ක්‍රීඩා කරනකොට ඒක අපිට ලොකු පහසුවක්”
යැයි තීක්ෂණ පැවසීය.තමාට ජාතික තලයේ සිට ජාත්‍යන්තර තලයට පැමිණීම සඳහා ශක්තියක් වූ අජන්ත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව අදහස් දැක්වීමටද මෙහිදී තීක්ෂණ අමතක නොකළේය.
"මම යුද හමුදා වයස23න් පහළ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරපු කාලෙ මගෙ ප්‍රධාන පුහුණුකරු වුණේ අජන්ත මෙන්ඩිස් සර්. එයා හැමවෙලේම මගේ පිටිපස්සෙන් ඉඳන් එයාට වෙච්ච දේවල්, එයා කරපු දේවල් වගේම කොහොමද එයා ඒ දේවල් කළේ කියන එක ගැන මට කියලා දුන්නා. අදටත් පන්දු යවනකොට මගේ අතින් වරදක් වුණාම තරගයෙන් පස්සේ එයා මට දුරකථනයෙන් අමතලා ඒ වරද හදාගන්න හැටි කියලා දෙනවා. ඇත්තටම ඒක මට ලොකු ශක්තියක්
යැයි තීක්ෂණ අවසාන වශයෙන් කියා සිටියේය.
(ශානුක අරවින්ද)
0 Comments