mahiyangana-japan

ජපානයේ රැකියා ලබාදෙන බවට පවසා මහියංගනය ප්‍රදේශයේ තරුණයන් 18 දෙනකුගෙන් රුපියල් එක්කෝටි දශ ලක්ෂයක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි කියන අඹු සැමි යුවළක් පිලැස්ස ප්‍රදේශයේ කුලී නිවෙසක සැඟවී සිටියදී පෙරේදා (24වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.  සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් නවාතැන් ගෙන සිටි කුලී නිවෙස පරික්ෂා කිරීමේදී එහි පෙට්ටියක් තුළ තිබුණ මහියංගනය ප්‍රදේශයේ තරුණයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 18ක් සොයාගත් බව පොලිසිය කියයි.




මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දෙදෙනාගෙන් මෙම සැකකරු 28 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයකු බවත් සැකකාරිය 24 හැවිරිදි තරුණ කාන්තාවක බවත් මොවුන් දෙදෙනා මහව ප්‍රදේශයේ කිහිප දෙනකුගෙන් රුපියල් ලක්ෂ හතළිහක මුදලක් එම ආකාරයටම ලබාගෙන වංචා කළේ යැයි මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 08කට පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු 08ක් ඇති සැකකරුවන් බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.  සැකකාර යුවළ මහියංගන ප්‍රදේශයේ තරුණයන්ගෙන් රුපියල් කෝටියකටත් වඩා මුදලක් හා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන වංචාකර ප්‍රදේශ ගණනාවකම සැගවී කලක් ජීත්වී ඇති බවත් පොලිසිය කියයි.


පිලැස්ස 04 කණුව ප්‍රදේශයෙන් රුපියල් 45000ක් වැනි මුදලකට නිවෙස කුලියට ලබාගෙන දැනට මාස 05ක් පමණ මෙහි සිට ඇති බවට අනාවරණය වී යැයිද පොලිසිය සඳහන් කරයි. මහියංගනය ප්‍රදේශයේ  තරුණයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මහියංගනය පොලීසියට පැමිණිලි 18ක් ලැබී ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරු වසර කිහිපයක් ජපානයේ රැකියාවක් කර ඇති බවත් ඔහු ලංකාවට පැමිණීමෙන් පසු මෙවැනි මුදල් වංචාකර ප්‍රදේශ ගණනාවක සැඟවී ජීවත්ව සිට  ඇතැයි පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වැඩිදුර පරීක්ෂණ සඳහා මහියංගනය  පොලිසියට බාරදීමට පියවර ගන්නා බව මාවතගම පොලීසිය පවසයි.

(අතුල පී බණ්ඩාරනායක)