meerigama-couple-death

තරුණ අඹුසැමි යුවළකගේ මළසිරුරු මීරිගම ලින්දර නිවෙසක කාමරයේ එල්ලෙමින් තිබියදී ඊයේ (4) පස්වරුවේ සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.  
 කාන්තාවගේ දෑත් පිටුපසට කර බැඳ තිබූ බවත්, බාල්කයක එල්ලුණු ඇගේ සිරුර බිමට බර  වී ඇතැයි කියන පොලිසිය, ඒ අසලම තරුණ සැමියාගේ සිරුර එල්ලෙමින් තිබූ බව ද සඳහන් කරයි.  ඔවුන්ගේ සිරුරු එල්ලෙමින් තිබූ ස්ථානයේ තිබූ පුවත්පත් කැබැල්ලක 'පොඩි එකා බලාගන්න මල්ලි' යනුවෙන් සඳහන් කර ඇතැයි ද එය මියගිය සැමියා විසින් ලියන ලද්දක් බවට සැක කරන බවද පොලිසිය සඳහන් කරයි.



 දෙදෙනා අතර කලක් තිස්සේ අඬදබර තිබී  ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව කියන මෙය බලහත් කාරයෙන් එල්ලා මිනී මරා සිදු කළ සියදිවිනසාගැනීමක් බවට සැක පළ කරයි.  මියගිය දෙදෙනා ඇඟලුම් ආයතනයක  සේවය කර ඇතැයි ද ඔවුනට සිව් හැවිරිදි පුතකු සිටින බව ද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ , මීරිගම ලින්දර පදිංචිව සිටි මාරසිංහ ආරච්චිගේ පියුමාල් මධුසංඛ (26) සහ හේවාවසම්ගේ මදුකා මිහිරාණි (23) නමැති අඹුසැමි යුවළකි.  
 මියගිය දෙදෙනා මව්පියන් ඇතුළු පවුලේ පිරිස සමග එම නිවෙසේ පදිංචිව සිට ඇතැයි ද  මියගිය තරුණ කාන්තාවන්ගේ සහෝදරයාගේ මංගල උත්සවය නිමිත්තෙන් පවුලේ පිරිස නිවෙසින් පිටව ගොස් ඇතත්,

ඇය පමණක් නිවෙසේ රැඳී ඇතැයි ද මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත.  සැමියා නිවෙසට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා මංගල උත්සවය පැවැති ස්ථානයේ නතර කර බවට ද පොලිසියට  තොරතුරු ලැබී තිබේ.

මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත විජේවර්ධන මහතා ද සිද්ධිය වූ ස්ථානයේ නිරික්ෂණය කළ අතර, මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ඊයේ (4) පස්වරුවේ කටයුතු කරමින් තිබිණි.

තොරතුරු -පුෂ්පකුමාර මල්ලවආරච්චි