pannipitiya-house-robber

විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් මුළාකර රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපළ වංචාකළ යකැදුරකු පන්නිපිටිය ඇරැව්වල දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකු මිතුරකු මාර්ගයෙන් මෙම වංචාකාරි පුද්ගලයා හඳුනාගෙන ඇති අතර රෝගීව සිටින ව්‍යාපාරික පියා සුවපත් කිරිමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලය කරා මිතුරා හා මව සමග මීට මාස කීපයකට පෙර ගොස් තිබූ බව පොලිසිය කියයි.එහිදී ශාන්තිකර්මය කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා ඇති අතර,ව්‍යාපාරික නිවැසියන් ඒ මොහොතේත්ම රුපියල් 58,000 ක අත්තිකාරම් මුදලක් තිබූ බව පොලිසිය කියයි.



ඉකුත් මැයි මස විසි දෙවැනි දින ශාන්තිකර්ම කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඪ වන බව කියන ඔහුගේ නැගණිය, ඇතුළු මව හා පියා ද සමග හෝකන්දර නිවෙසට ගොස් තිබූ අතර නිවෙසට ගොස් මද වේලාවක දී ව්‍යාපාරික පුතුට වතුර වීදුරුවක් බොන්නට සලස්වා තිබූ බව පොලිසිය කියයි. මද වේලාවකින් ඔහු සිහි විසඥ වී ඇති අතර දම්වැලෙන් පහර දෙමින් තාත්තට යකෙක් වැහිලා ඉන්නවා, යැයි පවසමින් වරින් වර පැය භාගයකට ආසන්න කාලයක් පහරදී ඇති අතර මද වේලාවක දී ව්‍යාපාරික පුතුට සිහිකල්පනාව ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 සුදු පිරුවට ඇඳගත් සැකකාර යකැදුරා පන්දමක් දල්වා ගැනීමෙන් අනතුරුව දැන් නිවෙසේ විදුලි විසන්ධි කරන ලෙසත් නිවැසියන්ට පවසා දෙමහල් නිශ්චන්සේ පහළ මාලයේ කාමරයක් පාසා ගොස් අනතුරුව දෙමහල් නිවසේ උඩුමහල කරාගොස් රෝගී පියා සිටින කාමරය වෙත ඇතුළු වී තිබූ බව පොලිසිය කියයි.

ඒ මොහොතේ පියා පහළ මහලේ පුටුවක වාඩි වී සිට ඇතැයි පොලිසිය කියයි. ව්‍යාජ ආරූඪයක් මවාගත් යකැදුරා ත්‍රිශුලයක් දකුණු අතට ගෙන, දල්නව ලද පන්දම වම් අතට ගෙන දැන් මට කාමරයේ තිබෙන අල්මාරිය විවෘත කරන්න අවසර දෙනවද? යැයි ව්‍යාපාරික බිරිඳගෙන් ආරුඪයෙන් අසා ඇය එයට කැමැත්ත ලබා දීමෙන් පසු අල්මාරියේ තිබෙන සියලුම රන් ආභරණ රෝගී පියා නිදාගත් ඇඳ මත සුදු පිරුවටයක් දමා ඒ මත දමන ලෙසත් නිවැසියන්ට පවසා තිබූ බව පොලිසිය කියයි.

යකැදුරාගේ කීමට අවනත වූ නිවැසියන් රුපියල් ලක්ෂ විසි දෙකක පමණ රන් ආභරණ සියල්ලම සුදු පිරුවටය මත දැමීමෙන් අනතුරුව යකැදුරාගේ නැගණිය විසින් ජංගම දුරකතන විදුලි පන්දම දල්වා එම රන් ආභරණ වෙත යොමුකර යකැදුරාට බලාගැනීමට සැලසීමෙන් අනතුරුව පවුම් 6 ක්, බර විශාල මුදුව මෙන්ම මැණික් ගල් අල්ලන ලද පවුම් දෙකහමාරක් බර කරාබු යුගලය පෙන්වා මෙම රන් ආභරණවලට සාප කරල තියෙන්නෙ මේවා දළදා මාලිගාවට පූජා කරන්න ඕනෑ යැයි පවසමින් එම රන් ආභරණ ඉටි බෑගයක දමා ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි..

සති දෙකක් පමණ ගත වෙද්දී යකැදුරා ව්‍යාපාරික නිවෙසට ගොස් ව්‍යාපාරික පුතුගේ ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා පරිගණකය පෙන්වා එයද මෙම නිවෙසට සාපයක් වී තිබෙන බවත් එය තමන් වෙත ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති අතර ඒ අනුව ඔහුගේ බසට අවනත වූ නිවැසියන් එයද ඔහු වෙත ලබාදී තිබූ බවද පොලිසිය කියයි.

ඉන් නොනැවතුණු යකැදුරා ව්‍යාපාරික නිවෙසට යළිත් පැමිණ තමන්ගෙ ඇඟට ආරූඪ වන්නේ තම මිය ගිය සීයා බවත් අනුරාධපුරය ප්‍රදේශයෙන් අක්කර 2 ක ඉඩමක් මිලට ගෙන දේවාලයට පූජා කර තම සීයගෙ පිළිමයක් එහි ඉදි කරන ලෙසත් තවද කළුපාට ඩිපෙන්ඩරයක්ද දේවාලයට පූජා කර "සෙනවිරත්න මුල් කඩවර පිහිටයි" යනුවෙන් සටහන් කර දෙන ලෙසත් එතකොට සියලුම සාප නැති වී යන බවත් ව්‍යාපාරික නිවැසියන්ට සැකකාර යකැදුරා පවසා තිබූ බව ඔවුන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

රෝගීව සිටි කෝටිපති ව්‍යාපාරිකයා අසාධ්‍යව ඉකුත් අගෝස්තූ විසිතුන් වැනි දින මියගොස් තිබූ අතර ඒ සමගම යකැදුරා සම්බන්ධයෙන් තිබූ විශ්වාසය පලුදු වූ ව්‍යාපාරික නිවැසියන් තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර යකැදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවසිය. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ලබා ගත් පවුම 6යේ මුදුව උණුකර දේවාලයේ වහලය සකස් කළ බව ත්, ව්‍යාපාරික නිවසින් රැගෙන ගිය බව කියන කරාබු යුගලය බව පවසා කුඩා කරාබු යුගලයක් පොලිසියට ලබාදුන් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 21 හැවිරිදිය යකැදුරා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


 (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ - ලංකාදීප)