prison-roof-damage

සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් වීමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව, උද්ඝෝෂණයේ යෙදුණු රැඳවියන් වැලිකඩ බන්ධනාගාරයට කරන ලද අලාභහානි සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් තක්සේරු වාර්තාවක් කැඳවීමට ද තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. අදාළ තක්සේරු වාර්තාව කැඳවීමෙන් පසු පොලිසිය සමඟ ඒකාබද්ධව එම රැඳවියන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැගී උපවාසයක නිරත වූහ. බන්ධනාගාර චහලය මත රැදී සිටිමින් උපවාසයේ යෙදුන රැඳවියන් අට දෙනෙක් පෙරේදා (27) රාත්‍රී එම වහලයෙන් බැස්සවීමටද බන්ධනාගාර අංශ පියවර ගෙන තිබිණි. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් නිදහස්ක රන ලෙස බල කරමින් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ ඉකුත් අගෝස්තු මස 20 වැනිදා ය.



පසුව, මෙම සිරකරුවන්ට සහාය පළ කරමින් තවත් රැඳවියන් 15 දෙනකු ද ඊට එක්ව තිබිණි.මෙම විරෝධතාවයේ යෙදුණු සිරකරුවන් රජයේ දේපළවලට හානි කිරීම සහ අනෙක් සිරකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිය විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඊට අදාළව මේ වන විට විමර්ශන ආරම්භ වී ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම, බන්ධනාගාරය තුළ කලහකාරීව හැසිරීම, නිලධාරීන්ට අවනත නොවීම හා රජයේ දේපළවලට හානි කිරීමට සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමටත් චෝදනා ලබන සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමටත් කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
(නිමන්ති රණසිංහ)