raja-kollure-party-ban

පසුගියදා 200 ට අඩු ළමුන් සිටින පාසල් ආරම්භ කරන දිනයේ නොපැමිණෙන ගුරුවරුන් සම්බන්ධ දැඩි තීරණ ගන්නා බවටත් වැටුප අහිමි කිරීමට තමන් කටයුතු කරන බවටත් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කළ  වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ
 සභාපති තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙයි.



අද පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙනා යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කළේය.

පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

ගුරු විදුහල්පති වැටුප් අරගලය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පසුගිය දින කිහිපයේදී රටතුළ දැඩි ආන්දෝලනයට ලක්වු අතර පළමු අදියර යටතේ විවෘත කළ පාසල්වලට නොපැමිණෙන වයඹ පළාතේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට රාජා කොල්ලූරේ තනිවම ප්‍රකාශ කළත් රජය එවැනි සූදානමක නොපැවති බවට අධ්‍යාපන බලධාරීන් දන්වා තිබුණි.
වැඩකරන ජනතාවගේ පක්ෂයකින් බිහිවූ නායකයෙකු ගුරු උද්ඝෝෂණය සම්බන්ධව දැක්වූ ආකල්පය නොගැළපෙන්නක් බවට විවේචකයින් කරුණු දක්වා තිබේ.



රාජා කොල්ලුරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර නීතීඥයෙකුද වෙයි. ඔහු මේවනවිට 83 හැවිරිදි වියේ පසුවෙයි.