කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කෙරෙන ලබන 21 වැනිදා, පාසලට පැමිණෙන ගුරුවරුන්ට බාධා කොට තර්ජනය කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (14) පැවැසීය.
මේ වර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනකගේ සහ මවුපියන්ගේ මානසික තත්වය පිරිහී ඇතැයි ද ඔහු සඳහන් කළේය. රජයක් ලෙස අවධානය යොමුකර මේ මොහොතේ දිය හැකි හොඳම විසඳුම ගුරුවරුන්ට ලබා දී ඇති බව කී ඇමැතිවරයා නමුත් ඔවුන් ඒ විසඳුමෙන් සෑහීමකට පත්වී නොමැති බවද කීවේය.
පාසලට පැමිණ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි තමා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය. එදිනට පැමිණෙන ගුරුවරුන්ට යම් පිරිසක් මැදිහත් වී කඩා කඩාකප්පල්කාරීව බාධා කොට, තර්ජනය කළ හොත් ඔවුන්, තරාතිරම නොබලා, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද ඇමැති වීරසේකර මහතා පැවැසීය.
ගුරුවරුන්ට වර්ජනය කිරීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් තිබෙන නමුත් එහෙම වුණා කියලා පාසලට එන ගුරුවරුන්ට බාධා කොට තර්ජනය කිරීමට ඔවුන්ට කිසිම අයිතියක් නැතැයිද හෙතෙම කීවේය. බස්නාහිර පළාත දකුණ නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් තුන්සියක් ප්‍රජා පොලිස් ඒකක 97ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
0 Comments