teachers-issue-to-solved

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනා අනුව වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.




මේ සඳහා වෘත්තිය සංගම් එකඟතාව පළකරනු ඇතැයි අගමැතිවරයා බලාපොරොත්තුවේ.
ජෝසප් ස්ටාලින් ඇතුළු නියෝජිතයින් සමග අගමැති මහින්ද හා ඇමති දිනේෂ් සඳුදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව කල් දැමූ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි  ගුරුවරුන් කිහිපදෙනෙකු හමුවී ජනපති සමග සවස කතාබහක නිරත විය. කෙසේ වෙතත් එය නිල සාකච්ඡාවක් නොවිණි.
මේ ප්‍රශ්නයේදී අයවැය දෙස ඇඟිලි දිගුකරමින් ප්‍රශ්නය විසඳන්නේ නැති බව වෘත්තීය සංගම් වල චෝදනාවයි.
පාසල් විවෘත කිරීමට දින නියම කර තිබුණත් ගුරු ගැටලුව විසඳන තුරු පාසල් විවෘත කිරීමට නොහැකි වන ලෙස වෘත්තිය සංගම් ප්‍රශ්නය සිරකර තිබේ.
අද සවස වාර්තාවූයේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෘජු ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා ගුරු සහ විදුහල්පති නියෝජිතයන්ට හෙට (12) දැනුම් දීමට නියමිත බවය.
 හෙට (12) දහවල් 12ට  අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි වෘත්තීය සංගම් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය අද පස්වරුවේ දැනුම්දී තිබිණ.



ඇමති අනුකමිටුවේ යෝජනා අදියර හතරකින් ක්‍රියාත්මක කිරීමට රජය මුලින් තීරණය කර තිබූ අතර ගුරු හා විදුහල්පති සංගමය සංගම් එය ප්‍රතික්ෂේප කළේය.
එම යෝජනාව අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව අලුතින් තීන්දු කර තිබේ.
ගුරු හා විදුහල්පති සංගම් මෙයට එකඟතාවය පළ කරනු ඇතැයි  රජය අපේක්ෂා කරයි.
අභයන්තර වාර්තා අනුව එය පිළිගත හැකි විසඳුමක් ලෙස වෘත්තීය සංගම් සෑහීමට පත්ව ඇත.
දින 94ක් තිස්සේ පවතින ගුරු හා විදුහල්පති වැඩ වර්ජනය බොහෝවිට හෙට දිනෙන් අවසන් වනු ඇතැයි වාර්තා වේ.