vaccine-card-note

යම් පුද්ගලයකුට මෙරටදී ලබාදුන් කෝවිඩ් මර්දන එන්නතෙහි නාමය හැර වෙනත් කෝවිඩ් එන්නතක නම සඳහන් කරමින් එන්නත්කරණ පත්‍රිකා නිකුත් කිරීමට කිසිදු හේතුවක් මත කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ),

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය. 

හෙතෙම පෙන්වා දුන්නේ, යම් එන්නතක් ලබාදීම හරහා ශරීරය තුළ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයක් සිදුවන බැවින් එන්නත්කරණ පත්‍රිකා තුළ සත්‍ය තොරතුරු පමණක් අන්තර්ගත විය යුතු බවයි. එසේම එක් එක් පුද්ගලයන්ට වෙන්වූ ශාක හෝ තාක්‍ෂණික විශේෂ හේතුවක් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය පරිදි යම් කෝවිඩ් මර්දන එන්නතක් ලබාදීමට අවසර හිමි වුවද, තමන් ලබාගත් එන්නතෙහි නාමය ව්‍යාජ ලෙස වෙනස් කළ එනත්කරණ පත්‍රිකා ළග තබාගැනීමට කිසිවෙකුට කිසිදු අවසරයක් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඒ අනුව විදෙස්ගත වීමක් සඳහා අදාළ රට විසින් යම් කෝවිඩ් මර්දන එන්නතක් නිර්දේශ කළ බව සඳහන් කරමින් තමන් විසින් ලබාගත් එන්නතෙහි සත්‍ය නාමය වසකර වෙනත් එන්නතක නාමයක් පත්‍රිකාවේ සඳහන් කිරීමට ඉල්ලුම් නොකරන ලෙසද හෙතෙම ප්‍රකාශ කළේය.

මීට අමතරව පළමු හා දෙවැනි මාත්‍රා ලෙස ලබාගත් කෝවිඩ් එන්නතට පරිබාහිරව වෙනත් එන්නතක මාත්‍රාවක් ලබා ගැනීම තමන්ගේ සිතැඟි පරිදි සිදු නොකරන ලෙසත්, ඒ අනුව එය ඊට අදාළ වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුත්තක් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

(නිදර්ශනී වික්‍රමසිංහ)