මහ රෑ නිවසකට ඇතුළු වී නිදාගෙන සිටි පනස් එක් හැවිරිදි එක් දරු මවකට අතවර කිරීමට උත්සාහ කොට පැන ගොස් සිටි බව කියන සැකකරුවකු මෙම මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඉකුත් 29 වැනිදා නියෝග කළාය. රුවන් විජිත කුමාර නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි. මහ රෑ නිරුවත් පුද්ගලයෙකු වහලයේ උළු ඉවත් කොට බැස එහි නිදාගෙන සිටි පනස් එක් හැවිරිදි එක් දරු මවකට අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇයගේ කෑගැසීම හේතුවෙන් එම තැනැත්තා පැන ගොස් තිබිණැයි අධිකරණයේදී හෙළි විය.
සිද්ධිය වී සුළු වෙලාවකින් වේයන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක එච්.ආර්.ඇන්. පද්මසිරි මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවසට ගොස් පරික්ෂණ පැවැත්වීමේදී නිවස අසල ගසක එල්ලා තිබූ ඩෙනිම් කලිසමක් හා කමිසයක් හමු වී තිබේ. එම ඇඳුම් ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගත් බවද විවෘත අධිකරණයේදී අනාවරණය විය. මෙහිදී වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් සැකකරු වහලයේ උළු ඉවත් කොට නිවසට බැස එහි කාමරයක නිදා ගෙන සිටි පනස් එක් හැවිරිදි එක් දරු මවකගේ පාදයක් ස්පර්ශ කර ඇයට අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය අවදි වී කෑ ගැසීමත් සමග එහි තවත් කාමරයක නිදා ගෙන සිටි ඇගේ පුතා පැමිණීම හේතුවෙන් සැකකරු පැන ගොස් සිටි බවද කියා සිටියේය.
සැකකරු ඇඳ සිටි ඇඳුම් ගලවා අසල ගසක එල්ලා නිවසට බැස ඇති බවත් පුතා නිවසේ නැතැයි සිතා සැකකරු නිවසට ඇතුළු වී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලිස් පරික්ෂකවරයා කීය. නැවත කැඳවීම මෙම මස 06 වැනිදාට කල් තැබිණ. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් පරිදි එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න හා පොලිස් සැරයන් කේ.ඒ.ඒ. නන්දසිරි යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
-ආනන්ද ඉ ජයකොඩි-
0 Comments