wanduramba-oic-remanded

වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ලබන මස 03 වනදින දක්වා  රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් බද්දේගම මහෙස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොල ඊයේ (28දා) නියෝග කළේය. පොලිස් නිලධාරීන් දෙදෙනා එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදී වාහනයක් මිලදී ගැනීමට අවශ්‍යව සිටි පාදුක්ක වටරැක ප්‍රදේශයේ පුද්ගලයෙකුට මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු බව කියන පුද්ගලයෙකු හඳුන්වා දී ඇති අතර බ්‍රෝකර්වරයා පවසා ඇත්තේ කළුතර හොඳ වාහනයක් තිබෙන බවය. ඒ අනුව එම පුද්ගලයා බ්‍රෝකර්වරයාද සමග මේ මස 11 වන දින සවස කළුතරට පැමිණි අවස්ථාවේ වාහනය ගාල්ලට ගෙන ගොස් ඇති බව පවසා ගාල්ලට පැමිණ ඇත. පසුව එම දෙදෙනා මෝටර් රථයෙන් වඳුරඹ දෙසට ගමන් කරමින් සිටියදී නිල ඇඳුමෙන්ම වඳුරඹ පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා සහ කොස්තාපල්වරයා මෝටර් රථය නවතා ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එයට ගොඩවී හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය උදුරා ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව පවසා අතර මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.



එහෙත් පොලිස් පරීක්ෂකවරයා කතා නොකළ නිසා පසුව ඔහු 15වනදින වඳුරඹ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර වඳුරඹ පොලිසිය විසින් එය මීගොඩ පොලිසියට යොමුකර ඇත. පසුව නැවත මීගොඩ පොලිසිය විසින් එය වඳුරඹ පොලිසියට යොමුකර ඇත. ඒ අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ විසින් පරීක්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගෙන ඇත.

ගැමුණු චන්ද්‍රලල් - ගාල්ල