කන්න විදිහක් නැති බව පවසමින් ඊයේ (12දා) පෙරවරුවේ පොල් ගසක නැග විරෝධතාවක නියැලී සිටි පුද්ගලයෙකු කඵතර උතුර පොලීසිය මැදිහත්වී බිමට බස්සවා බඩු මල්ලක් ලබාදුන්නේය.මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150ක් පමණ උසැති පොල් ගසක නැග විරෝධතාවේ නිරත විය. සිද්ධිය සැලවීමත් සමග කළුතර උතුර රථවාහන අංශ සැරයන් සනත් චන්ද්‍රසිරි මහතා විසින් හාල්, පරිප්පු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් රැගෙන පැමිණ ගසින් බිමට බසින ලෙස කළ ඉල්ලීමට අනුව අවනත වූ විරෝධතාකරු ගසෙන් බිමට බැස්සේය.
ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා රැගෙන ආ වියළි සලාක අඩංගු මල්ල නිමලරත්න මහතා වෙත භාරදුන් අතර, එය රැගෙන ද සතුටින් නිවස කරා යන අයුරු දැකගත හැකි විය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමලරත්න මහතා මෙසේ පැවසීය.
"මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා පොල් ගස් නැගලා ජීවත් වෙන්නේ. කිසි ආදායමක් නැති නිසා මේ දවස්වල ජීවත් වෙන්න විදිහක් නෑ. මට රුපියල් 5000 හම්බ වුණෙත් නැහැ. එක සලාක මල්ලක්වත් හම්බ වුණෙත් නැහැ. කන්න බොන්න විදිහක් නැති නිසා ගහට නැග්ගේ බිමට පැනලා දිවිනසා ගන්නයි. උදවු කළ පොලීසියේ මහත්වරුන්ට ස්තූතියි."
සිද්ධිය දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීහුද පොල් ගස අසල රැස්වී සිටියහ.
(සුමිත් ප්‍රේමතිලක)
0 Comments