තිස්සමහාරාම, වීරවිල වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් හදිසි මරණ පරික්ෂක ජී.සී නෙරන්ජන් මහතා ඉදිරියේ ඊයේ 14 වැනිදා වීරවිල පොලිසිය විසින් ගොඩගනු ලැබීය. මිතුරන් සමග මත්පැන් පානය කිරීමට ගිය මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ වැඩිමහල් සොහොයුරු පසුගිය 12 වැනිඳා උදෑසන පැමිණිල්ලක් සිදුකර ඇතැයි වීරවිල පොලිසිය කියයි. වයස අවුරුදු 45ක් වන හෙන්දාවිතාරණගේ රංග සුරාජ් නමැති මොහු වීරවිල මහින්දපුර පදිංචි අවිවාහකයකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා කුඹුරු අක්කර තුනක පමණ වී වගාව කරන්නෙකු බව ඔහුගේ ඥාතීහු සඳහන් කරති.
මිතුරන් 6 දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටි ඔහු පසුද වනතුරුම සහෝදරයාගේ නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් වීරවිල වැව ප්රදේශයේ සෝදිසි කරද්දී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් යුගල පමණක් ඇති බව දැක මියගිය අයගේ සහෝදරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් සිදුකළ බව පොලිසිය කියයි. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් පෙරේදා (13) වැනිදා වීරවිල වැව් බැම්ම ආසන්නයේ පරික්ෂා කළ ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණ අතර ඊයේ (14) වැනිදා අලුයම හතරට පමණ වැවේ පිටවානට ආසන්නයේම ඔහුගේ මළ සිරුර තිබූ බව ගම්වාසීන් දැක පොලිසියට දැනුම් දී ඇත.
මෙම පුද්ගලයාගේ මරණය සැක සහිත බව ඥාතීන් පැවසීම නිසා වීරවිල පොලීසිය පරික්ෂණ ආරම්භ කළේය. ඒ අනුව ඔහුගේ නිවසේ ඉදිරිපිට ගොඩනැගිල්ලට සවිකර ඇති ආරක්ෂක කැමරා පරික්ෂා කිරීමේදී වෑන් රථයකින් දොළොස් වැනිදා සවස හතරට පමණ මිතුරන් පැමිණ ඔහු නිවෙසින් රැගෙන ගොස් ඇති දර්ශන සහ එදින රාත්රී 8.20 ට පමණ එම කණ්ඩායම මරණකරු නොමැතිව ඔහුගේ නිවෙසට පැමිණෙන ආකාරයද සටහන්ව තිබූ බව පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළිවී ඇත. පිරිස අතර සිටි පුද්ගලයකු අත රෙදි බෑගයක් තිබූ බවත් රථයෙන් බැස ඒ පරික්ෂා කරන ආකාරය කැමරාවේ සටහන්ව තිබූ නිසා පොලිසිය ඒ සම්බන්ධව කළ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එම බෑගයේ දමා ගෙනැවිත් ඇති බවට හෙළි වූ බව පොලිසිය කියයි.
එම බෑගය රැගෙන මරණකරුගේ නිවෙසේ නවතා තිබූ යතුරුපැදියෙන් එක් අයකු පලා යන ආකාරයත් සෙසු පුද්ගලයන් වෑන් රථයක නැගී යන ආකාරයත් එම කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු හතර දෙනෙකු මිරිස්ස ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මුහුදු රස්සාවට ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. අනෙක් සැකකරු සොයා මේ වන විට වීරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
රංජිත් එස්. ඩයමන්
0 Comments