බංග්ලාදේශයේ හිටපු අගවිනිසුරුවරයෙකු වූ සුරේන්ද්‍ර කුමාර් සින්හා හට වසර 11ක සිරදඬුවමක් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (09දා) තීරණය කර තිබේ.
ඔහුට එරෙහිව පැවැති මුදල් විශුද්ධිකරණය ඇතුළු දූෂණ චෝදනා මෙම දඩුවමට හේතුව බව පැවසෙයි.කෙසේ වෙතත් මෙය දේශපාලනමය බලපෑමක් සහිත නඩු තීන්දුවක් බව බංග්ලා දේශයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔහුගේ ආධාරකරුවන් සඳහන් කරයි. 70 හැවිරිදි හිටපු අගවිනිසුරුවරයා මේ වනවිට උතුරු ඇමෙරිකාවේ දේශපාලන රැකවර ලබමින් සිටියි. ඔහු 2017 වසරේදී බංග්ලාදේශයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ අතර,
එහිදී ඔහුගේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවකට අනුව පාර්ලිමේන්තුවට අධිකරණ විනිසුරන් ඉවත් කිරීමේ බලය අත්හිටුවීමට පියවර ගත්තේය.
මෙය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස සැලකුණි.කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඇති වූ බලපෑමත් සමග ඔහු බංග්ලාදේශයෙන් පිටත් වූ අතර, එහිදී දේශපාලන රැකවරයා ලබා ගැනීමට සමත් වී තිබේ. ඔහුගේ ආධාරකරුවන්ට අනුව හිටපු අගවිනිසුරුවරයා රටින් පිටවීම එරට අධිකරණයේ විශ්වාසනීයත්වයට එල්ල වූ දරුණු පහරක් බව පවසා තිබේ.
එසේම බංගලාදේශ රජය සින්හා පසුපස යමින් ඔහුට පහර දෙමින් සිටින බවත් ඔවුන් සදහන් කරයි. සින්ගා බහුතරය මුස්ලිම් ජාතිකයන් වන බංග්ලාදේශයේ අගවිනිසුරුවරයා ලෙස තේරීපත් වූ ප්‍රථම හින්දු ජාතිකයාද වෙයි. රටින් පිටවීමෙන් පසුව ඔහු පොතක් ලියූ අතර "බිදී ගිය සිහිනය - නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය” ලෙස එය නම් කෙරිණි.
0 Comments