මව විදේශගත වන අවස්ථාවේදී රැකවරණය පතා මවගේ සොයුරාගේ නිවසේ මව විසින් රඳවා තබා ගිය අවුරුදු 15යි මාස 03ක් වයසැති බාලවයස්කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ සැකකරුව ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය 13 වැනිදා නියම කළාය.



වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද 33 හැවිරිදි එක්දරු පියකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. සැකකරු වින්දිත දැරියගේ මාමගේ පුතා බව පොලිසිය කීය.

දැරියගේ පියා මිය යෑමෙන් අනතුරුව මව මීට වසර පහකට පමණ පෙර රැකියාවක් සඳහා විදේශගත වී
තිබේ. මව විදේශගත වීමට පෙර දැරියව ආරක්ෂා කර ගන්නා ලෙස පවසා මවගේ සොයුරාගේ බිරියට
දැරිය භාරදී ගොස් ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය.

සැකකරු තම බිරිය සහ දරුවා සමඟ වින්දිත දැරිය සිටි නිවසේම පදිංචිව සිට ඇති බවත් ඉකුත් දිනක
සැකකරු දැරිය නිදාසිටි කාමරයට ගොස් මෙසේ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී
අනාවරණය වී තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ දැරියගේ මව ලංකාවට පැමිණ තිබේ. දැරිය මවගේ
භාරයේ ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය.



වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පො.ප. වසන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස්
පරීක්ෂකවරුන් වන ජයවික්‍රම සහ ජයලත්, /කාන්තා පොලිස් සැරයන් අම්බිගායි (4110) යන නිලධාරීහු
වැඩිදුර පරීක්ෂණ කරති.


මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල