17-injured-in-Japanese-stabbing-train

පිහියක් අතින් ගත් පුද්ගලයෙකු ටෝකියෝ මගී දුම්රියක ඇති කළ කලබලයක් නිසා පිහි ඇනුම් තුවාල ලද 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ටෝකියෝ හි කොකුර්යෝ දුම්රිය ස්ථානය අසල ෂින්ජුකු දුම්රිය ස්ථානයට යන සීග්‍රගාමී දුම්රියක නැගී  මොහු හදිසියේම පිහියක් ගෙන වාඩි වී සිටි වයස 70 ක පමණ මගියෙකුගේ දකුණු පපුවට පිහියෙන් ඇන තිබූ බව පොලිසිය පවසයි. අනතුරුව වටේ සිටි තවත් මගීන් 16 දෙනෙකුටද තුවාල කර ඇති අතර ඔහු දුම්රියට ඉන්ධන වත්කර ගිනි තැබීමට උත්සාහ කළ බවද පැවසෙයි.


ඔහුට අවශ්‍ය වූයේ මිනිසුන් මරා මරණ දණ්ඩනය ලබා ගැනීමට බව ඔහු අල්ලාගත් පසු ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි. නිපොන් ටෙලිවිෂන් පැවසුවේ මීට පෙරත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තාවී ඇති බවත් මේ පුද්ගලයා එය අනුකරණය කරමින්  හැසිරෙන්නට ඇති බවකි.

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පුද්ගලයා විහිළු කාරයෙකුගේ ඇඳුමකින් සැරසී සිටි බව කියැවේ. බැට්මෑන් කොමික් වල ජෝකර් දුෂ්ටයා හෝ හැලොවීන් උත්සවයකට යන අයෙකු වැනි දීප්තිමත් ඇඳුමක් - කොළ කමිසයක්, නිල් ඇඳුමක් සහ දම් පැහැති කබායක් ඇඳ සිටි බව වාර්තා විය.
 මගීන්ට තුවාල කර, පැන යාමට පොරකමින් සිටි ඔහුව පසුව පොලිසිය අල්ලාගෙන ඇති අතර 24 හැවිරිදි Kyota Hattori ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ප්‍රහාරකයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට විමර්ශනය කරමින් සිටින බවයි.

රූපවාහිනී දර්ශනවල දැක්වෙන්නේ ගිනි නිවන භටයන්, පොලිස් නිලධාරීන් සහ පරිපූරක වෛද්‍යවරුන් ගණනාවක් මගීන් බේරා ගන්නා අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුම්රිය කවුළුවලින් පැන යන අයුරුය.



එන්එච්කේ පැවසුවේ සැකකරු මගීන්ට පිහියෙන් ඇනීමෙන් පසු ප්ලාස්ටික් බෝතලයකින් තෙල් හා සමාන දියරයක් වත් කර ගිනි තබා ඇති අතර එමඟින් ආසන අර්ධ වශයෙන් පිළිස්සී ගිය බවයි.

වීඩියෝව රූගත කළ ශුන්සුකේ කිමුරා NHK වෙත පැවසුවේ මගීන් මංමුලා සහගත ලෙස දිව යන බවත්, සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන විට, ඔහුට පුපුරන සුලු ශබ්දයක් ඇසුණු බවත්ය.
මෙම ප්‍රහාරය මාස තුනකින් ටෝකියෝ දුම්රියක පිහියකින් එල්ල වූ දෙවන ප්‍රහාරයයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට පෙර දින අගෝස්තු මාසයේදී, 36 හැවිරිදි පුද්ගලයෙක් ටෝකියෝ හි මගී දුම්රියක අහඹු ලෙස ප්‍රචණ්ඩත්වයකින් මගීන් 10 දෙනෙකුට පිහියෙන් ඇන ඇත. පසුව සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමාට ප්‍රීතිමත් පෙනුමක් ඇති කාන්තාවන්ට පහර දීමට අවශ්‍ය වූ බවයි.
වීඩියෝව පහතින්

(ද සන් ඇසුරිනි - Gossiplankanews.com)