ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී  ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එම පොලිස් ස්ථානය ඉදිරිපිට අද  විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා විය.


ඔවුන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කොළොන්න – ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ මෙම මරණයට අමාත්‍ය සරත් වීරසේකර මහතා වගකිවයුතු බවයි.


ඒ ගැන සරත් වීරසේකර මහතා පිළිතුරක්ද ලබාදෙමින් පැවසුවේ එකී පුද්ගලයා මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙකු බවත් පොලිස් සිර මැදිරියේදී සියදිවිනසාගන්නට තැත්කර රෝහලට ගෙනයද්දී මියගිය බවත්ය. එකීතැනැත්තා ඊයේ පැවති උද්ඝෝෂණය නිසා ඇල්ලූ අයකු නොවන බවත් ඔහුට එරෙහිව පවුලේ අය කළ පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන තිබියදී මෙසේ මියගිය බවත් පැහැදිලි කළේය.

පනාමුර පොලිස් සිර මැදිරියේ රඳවා සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ අද (17) පාන්දරයි.
තමන්ට හා දියණියට පහර දෙන බව පවසා මියගිය අයගේ බිරිඳ පොලීසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (16) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිට ඇති බව හා  පසුව ගෙල වැළලාගෙන ඇති බව පොලිසිය මේ ගැන කරන පැහැදිලි කිරීමයි.
මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපොත යාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් අයෙකි.
මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව පවසමින් දහසකට අධික පිරිසක් මේ වනවිට පොලිසිය අසළට රැස්ව විරෝධය දක්වන අතර ඔවුන් පොලිස් ස්ථානයට ඇතුළු වීමේ සුදානමක්ද පැවතිණි.

මේ අතර දහවල් වාර්තාවූයේ සිදුවීම සම්බන්ධයෙන් පනාමුර පොලිස් ස්ථානයේ  නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බවයි.
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවයි.