බටහිර අප්‍රිකානු රටක් වන සියරා ලියොන් අගනුවර ෆ්‍රීටවුන් හි ඉන්ධන පිරවුම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 92 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට උප ජනාධිපතිවරයා සෙනසුරාදා ප්‍රකාශ කළේය.
බරපතල පිලිස්සුම් තුවාල ලද තවත් පුද්ගලයින් 88 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර කරමින් සිටින බවද දන්වා ඇත. කාන්තාවන්, පිරිමින් සහ ළමයින්ට “බරපතල තුවාල” ඇති බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.

ඇසින් දුටුවන් පවසන පරිදි, රාත්‍රී කාලයේ සිදුවූ  රිය අනතුරකින් පසු ඉන්ධන පිරවුම්හලක වාහනයක් ගිනි ගැනීමත් සමඟ මෙම පිපිරීම සිදුව තිබේ.


පසුව ගින්න පැතිරී ඇති අතර, මෝටර් රථවල සහ අසල මාර්ගවල මිනිස්සු පිළිස්සී ගියහ.

මියගිය අයගෙන් බහුතරය වීදි වෙළෙන්දන් සහ යතුරුපැදිකරුවන් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියදී ගින්නට හසු වූ බව වාර්තාවේ.
සිද්ධියෙන් අනතුරුව උදෑසන සියගණනක් ජනයා එම ස්ථානයෙහි රැස්ව සිටි අතර, බොහෝ දෙනෙක් ආරක්ෂක අංශවල සහය ඇතිව අතුරුදහන් වූ ඥාතීන් සොයමින් සිටියහ.

ෆ්‍රීටවුන් නගරාධිපතිනි ඉවෝන් අකි-සෝයර් පැවසුවේ පිපිරීම ගැන අසා තමා "දැඩි ශෝකයට පත් වූ" බවයි.
ලෝකයේ දුප්පත්ම රටක් වන සියරා ලියොන් හි මීට පෙරත් පෙට්‍රල් ටැංකි අනතුරු සිදුවී ඇත.
අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශවල, කාන්දු වන ඉන්ධන එකතු කිරීම සඳහා මිනිසුන් එක්රැස් වූ තැන්වල එවැනි සිදුවීම් වාර්තාවී බොහෝ දෙනෙකු මිය ගොස් ඇත.

2009 දී, කෙන්යාවේ නයිරෝබි අගනුවරට වයඹ දෙසින් පෙට්‍රල් ටැංකියක් පෙරලීමෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඉන්ධනවලින් කොටසක් උදුරා ගැනීමට උත්සාහ කිරීමට රැස්ව සිටි පිරිස පිපිරීමෙන් පිළිස්සී ගොස් තිබුණි.
2019 දී ටැන්සානියාවේ ටැංකියක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 ක් මිය ගිය අතර 2015 දී දකුණු සුඩානයේද එවැනිම අනතුරකින් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.

(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)