A-14-year-old-student-who-abused-a-five-year-old-girl-while-watching- tabs

වයස අවුරුදු 5ක දැරියක් දූෂණයකට ලක් කළ සිදුවීමකට අදාළ සැකකාර 14 හැවිරිදි දරුවා පරිවාස
භාරයට පත් කරමින් සැකකාර දරුවාගේ මව අධිකරණයට කැඳවා මවුපියන්ගේ ක්‍රියාකලාපය දෝෂ
දර්ශනයට ලක්කරමින් අන්තර්ජාලයෙන් දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ  මවුපියන් සුපරික්ෂාකාරී නොවුවහොත් එම දරුවාගේ පරිහානියට මවුපියන් වගකිව යුතු බවත් මොනතරම්
කටයුතු තිබුණද දරුවාගේ කටයුතු හා දරුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය මවුපියන්ගේ අංක එක නොවුවහොත් ඇති වන තත්ත්වය දරුවාගේ පමණක් වරදක් නොවන බවත් කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අවධාරණය කළාය.

ඉකුත් අගෝස්තු මාසයේ පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැති බාල සොයුරාත් වින්දිත දැරිය පදිංචිව සිටින සැකකාර දරුවාගේ මිත්තණියගේ නිවෙසට ගොස් සිටියදී එම නිවෙසේ සිට ඇති වයස අවුරුදු 5යි මාස 10ක දැරිය එසේ අවස්ථා දෙකකදී දූෂණය සිදුව ඇති බව හා නිරන්තරයෙන්
අපයෝජනයට ලක්ව තිබූ බවට කඳානේගෙදර පොලිසිට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන අනුව හෙළිවූබව පෙරේදා (15දා) පොලිසිය බී වාර්තාවක් මඟින් සැකකාර දරුවා ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.



එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් රට වසා දැමීමට පෙර පාසල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ
පාසලේ 11 වසර ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ
අසැබි දර්ශන නැරඹිය හැකි බව ලබාදුන් උපදෙස් අනුව සැකකාර දරුවා සිය ටැබ් පරිගණකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කලක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් සිය මවගේ
සොහොයුරාගේ වයස 5ක දැරිය සමඟ සෙල්ලම් කරමින් එම අසභ්‍ය දසුන්වල ඇති දෑ අත්හදා බැලූ බව
සැකකාර දරුවා පවසන බවත් පරිවාස නිලධාරිනිය පැවැසීය. එමෙන්ම සුදුසු භාරකාරීත්වයකට පැවැරීම වෙනුවෙන් විමර්ශනය කරනතෙක් දරුවා පරිවාස ළමා නිවෙසේ රැඳවීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටියාය.

සැකකාර දරුවා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතාද ඉල්ලා සිටියේ නිවෙසේ ඇතිව තිබූ ආරවුල් ආදිය
හේතුවෙන් දෙපැත්තකින් දරුවා තැළෙමින් පවත්නා බැවින් එම බාලවයස්කාර සැකකරුට සුදුසු ඇපයක් දානය කරන ලෙසයි.

වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මේ වනවිට අදාළ වින්දිත දැරිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්විය.

පාර්ශ්ව කිහිපයේම කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැඳවා දරුවන් අන්තර්ජාලය සමඟින් කරන ගනුදෙනු පිළිබඳව මවුපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන්
තමන්ගේ දරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළාය.

එමෙන්ම දරුවකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට මවුපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු මවුපියන් විසින් මෙහෙයවිය යුතු පිරිසක් බවත් පවසමින් පොලිසිය ඉල්ලා සිටි පරිදි 1995 අංක 14 ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන ආඥා පනත අනුව වීඩියෝ සාක්ෂි ලබා ගැනීමට ළමාරක්ෂක අධිකාරියට නියම කළාය. එමෙන්ම සැකකාර දරුවාට රුපියල් ලක්ෂ 4ක ශරීර ඇපයක් නියම කරමින් එම ඇපය දරුවාගේ මව විසින් තැබිය යුතු බවට කොන්දේසි නිකුත් කර තිබිණි. දරුවා මානසික සෞඛ්‍ය සායනයකට යොමු කරන ලෙසද එහිදී පරිවාසයට නියෝග කර පූර්ණ පරිවාස වාර්තාවක් ඉදිරි දිනට ඉදිරිපත් කළයුතු බවට නියම කරමින් සැකකාර දරුවා පරිවාස භාරයේ රඳවා තැබීමටද නියම කළාය.
කඳානේගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් අසංක කරුණාසේන, පරිවාස නිලධාරිනිය වාසනා චන්ද්‍රපාල යන මහත්ම මහත්මීන් සැකකාර දරුවා ඉදිරිපත් කරමින් කරුණු කී අතර නීතිඥ ආසිරි ප්‍රනාන්දු මහතා සැකකාර දරුවා වෙනුවෙන් පෙනී සිටියේය.

කුලියාපිටිය - ශාඛ්‍ය ඉඳුවර