Despite-the-construction-of-the-Polonnaruwa-Kidney-Hospital,-the-services-are-still-inadequate

රුපියල් බිලියන 12ක මුදලක් වැය කරමින් පොළොන්නරුවේ ඉදිකරන ලද ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යමණ්ඩල නොමැති වීම නිසා මෙම රෝහල තුළින් වකුගඩු රෝගීන් සඳහා ප්‍රශස්ත ලෙස සේවාව ලබාදීමට නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම රෝහල විවෘත කර මාස 05ක කාලයක් ගත වී තිබෙන බවත්, වැඩිහිටි සහ ළමා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඇඳන් 207ක තිබෙන අතර, එනමුත් විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවීම නිසා ඇඳන් ධාරිතාවෙන් 25%ක පමණක් මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

වකුගඩු රෝග සහ මුත්‍රමාර්ග ආශ්‍රිත ශල්‍යරෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, වකුගඩු බද්ධ කිර්ම සම්බන්ධ විශේෂ පුහුණුව සහිත විශේෂඥ වෛද්‍යවරුන්,

විකිරණවේදය පිළිබඳ විශේෂඥ  වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 10දෙනෙකුගේ සේවය කළ යුතු වුවත්, මේ වනවිට මෙම රෝහලේ සේවය කරනුයේ විශේෂඥ  වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් බවද ඒ මහතා පැවසීය. මෙම රෝහල සතුව රුධිර කාන්දුකරණ (Hemordialysis) යන්ත්‍ර 100ක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් තිබුණද, මේ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්,  හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නොමැති නිසා මේ වනවිට ක්‍රියාත්මක වනුයේ, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 30ක් පමණක් බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


එසේම ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ඇතුළු සේවක සංඛ්‍යාව සඳහා අනුමැතිය ලැබී තිබුණද, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් එම රෝහල් පරිපාලනය සඳහා රෝහල් අධ්‍යක්‍ෂවරයෙකු පත්කිරීමට පවා අපොහොසත් වී තිබෙන බවද හෙතෙම සඳහන් කර සිටියේය. 

වකුගඩු බද්ධ කිරීම ඇතුළු මුත්‍රමාර්ග ආශ්‍රිත ශල්‍යකර්මය සඳහා අවශ්‍ය නවීන උපකරණ සහිත ශල්‍යාගාර 6කින් සමන්විත වුවත්, මෙතෙක් ඉන් එක්  ශල්‍යාගාරයක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි තිබෙන  බවත්, නවීන රසායනාගාර සහ ශල්‍යාගාර යන්ත්‍ර සූත්‍ර කිසිදු භාවිතයකින් තොරවම එම යන්ත්‍ර සූත්‍රවල වගකීම් සහතික කාලය ඉකුත් වන දිනය අවසන් වීමට නියමිතව තිබෙන බව පවසා සිටි වෛද්‍යවරයා, එබැවින් වගකීම් සහතික කාලය ඉකුත් වූ පසු එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ විට යම් තාක්‍ෂණික ගැටලුවක් උද්ගත වුවහොත් එම යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා විශාල පිරිවැයක් දැම්මට සිදුවන බවද පැවසීය.

රසායනාගාර, X-කිරණ සහ විද්‍යුත් කතුක රේඛන (ECG) ඇතුළු පක්‍ෂණ සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම රෝහල තුළ පැවතියද එම පක්‍ෂණ පහසුකම් ක්‍රියාත්මක කිරීමට අවශණ සේවක සංඛ්‍යාව නියමිත  ලෙස නොමැති බවද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.  විශාල පිරිවැයක් දරමින් පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉහත ගැටලු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධානය යොමුකර පවතින ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

 ඉන්දික හේවාවිතාරණ-