Details-of-a-motorcycle-theft-come-to-light-10-years-later

 වසර දහයකට පෙර වේවැල්දෙණිය නිවෙසකින් සොරාගත් යතුරුපැදියක් ගණෙමුල්ල පොලිස් වසමේ පහළ යාගොඩ නිවෙසක තිබියදී ඉකුත්දා( 18) සොයාගත් බව මීරිගම පොලීසිය කියයි.   2011 නොවැම්බර් මස 11 වැනිදා රාත්‍රී මෙම යතුරුපැදිය වේවැල්දෙණියේ නිවසක පෝටිපෝවේ නවතා තිබියදී සොයාගෙන ඇති බවට එහි අයිතිකරු මිරිගම පොලිසියට පැමිණිලි කර ඇති බවත්,

විමර්ශනවලින් කිසිදු හෝඩුවාවක් නැති බවත් පොලිසිය පැවසීය. කාලය ගෙවී ගියත් අයිතිකරු දැඩි සෝදිසියෙන්  සිට ඇත. පසුගිය දිනක කිසියම් අයකු තමාගේම අංකය දරන යතුරුපැදිය සදහා මීරිගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයෙන් ඉදිරි වසර සඳහා වන ආදායම් බලපත්‍රය ලබාගත් බව දැන ගැනීමෙන් පසු ඔහුට විසින් ඒ බව පොලිසියට දැනුම්දුන් බව ද පොලිසිය සඳහන් කළේය.


පසුව මීරිගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් සිදු කළ විමර්ශනයේදී ඇති වූ අංකය දරන යතුරුපැදිය අත්තනගල්ල රුක්ගහවිල පදිංචිකරුවකු නමින් ලියාපදිංචි කර ඇති බව හෙළි   වී ඇත. ඒ අනුව කළ පරික්ෂණයේදී හෙළිවී ඇත්තේ රුක්ගහවිල පදිංචිකරු 2015 වසරේදී මෙම් දී යතුරුපැදිය මහර අධිකරණයේ වෙන්දේසියකින්  මිලදී ගෙන ඇති බවයි. ඔහු විදේශගත වීමේදී එය විකුණා ඇති අතර පසුව එය පහළ යාගොඩ පදිංචිකරුවකු මිලදී ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.  මහමග දමා ගොස් තිබූ යතුරුපැදිය අයිතිකරුවකු නැති දේපළක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ වෙන්දේසි කර ඇතැයි ද හෙළි වී ඇත.

එසේ මිලදී ගැනීමේ පසු රුක්ගහවිල පදිංචිකරු විසින් යතුරුපැදිය ඔහුගේ නමට ලියාපදිංචි කර ඇතැයි ද හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගැනීමට පොලිසිය කටයුතු කළේය.


 -පුෂ්පකුමාර මල්ලවආරච්චි-