Lets-break-down-the-arguments-of-those-who-say-that-alcohol-is-good-for-health
හෘදයාබාධ වළක්වාලීමේ පුදුම බලයක් මත්පැන් සතුව ඇති බවට ඇතැම් තැනක මත පළවේ. මත්පැන් පානයකර ඕනෑම දෙයක් කා බී, දුම් පවා පානයකර හෘදයාබාධ නොවැලඳී සිටිය හැකිය යන හැඟීම මෙමගින් අපට ඇතිකරයි. ගැබිනි අවධියේ මත්පැන් පානය කරන කාන්තාවන් අසාමාන්‍ය දරුවන් බිහිකරන බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ. ගැබිනි සමයේ මත්පැන් පානය කිරීම නිසා  ගැබෙහි සිටින දරුවාගේ මුහුණ විකෘතිවීම, මධ්‍ය ස්නායු පද්ධතියේ දුර්වලතා, හෘදයේ ආබාධිත තත්ත්ව හා දීර්ඝ කාලීන මානසික දුර්වලතා ආදිය ඇතිවිය හැකිය.  දිනකට මත්පැන් අවුන්ස 1 1/2කට අඩු ප්‍රමාණයක් පානය කළද දරුවාගේ බර ප්‍රමාණය හා හිසේ ප්‍රමාණය අඩුවීමත් සාමාන්‍ය බුද්ධිය හීනවීමත් සිදුවිය හැකිය. ගැබිනි සමයේ මත්පැන් ගැනීමෙන් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතුයැයි ඇමෙරිකානු ප්‍රසව වෛද්‍ය සංගමය උපදෙස් දෙයි.

මත්පැන් පානය මගින් හදවත් රෝග වළක්වාලන්නේය යන  මතය මෙතෙක් විද්‍යාත්මකව ඔප්පු කර නැත.

මිදි පොත්තේ අඩංගු පීනොල්ස් Phenols නම් සංයුතියකින් සමන්විත රතු වයින්වල අඩංගු ෆෙල්වනයිස් Flavonoids නම් ද්‍රව්‍යය ප්‍රතිඔක්සිකාරකයක්  ලෙස ක්‍රියාකර අහිතකර කොලෙස්ටෙරෝල් මගින් ධමනි අවහිර කරන පට්ටිකා හට ගැනීම වළක්වාලන බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.  හෘදයාබාධ හටගැනීමෙන් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක බලයක් ෆෙල්වනයිඩ්ස්වල අඩංගු බවට සාක්ෂි ලැබී තිබේ. මත්පැන් පානය කිරීමෙන් අත්වෙන අමතර වාසි ඉතා අල්පයයි, මත්පැන් හා සෞඛ්‍යය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ පර්යේෂකයෙක් වන හාවඩ් සරසවියේ මහාචාර්ය එරික් රිම් පවසයි. රතු වයින්වල අන්තර්ගතව ඇත්තේ පලතුරු හා එළවළුවලින් සමන්විත සමබල ආහාර වේලක අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයකි.


තේ කෝප්පයක අඩංගු ෆෙල්වනයිඩ්ස් ප්‍රමාණය වයින් වීදුරුවක අඩංගු ෆෙල්වනයිඩ්ස් ප්‍රමාණයට වඩා වැඩිය. ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාව ලබාගැනීම සඳහා රතු වයින්, බෙහෙවින් අහිතකර විශාල ප්‍රමාණයක් පානය කළ යුතුය.  පියයුරු පිළිකා වර්ධනයට අනුබල දෙන ඊස්ට්‍රජන් නම් හෝමෝන මට්ටම වැඩි කිරීමෙන් මත්පැන් පානය මගින් කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම වැඩි කරයි. පියයුරු පිළිකා හා සම්බන්ධ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.  

හයිපොග්ලිසෙමියා Hypoglycaemia (රුධිර සීනි මට්ටම අඩු වීම)

මත්පැන් අධික ප්‍රමාණයක් පානය කිරීම නිසා රුධිර සීනි මට්ටම අඩු විය හැකි අතර එය දිගු වේලාවක් පැවතුණහොත් මොළයට හානි සිදුවීමට ඉඩ තිබේ. මද්‍යසාරය නිසා මත් ගතියෙන් පසුවෙන කාලයේ මස්තිෂ්ක විෂාදය Cerebral depression ඇතිවිය හැකිය. මත්පැන් ගඳ වහනය වන සිහි විසඥ තැනැත්තෙක් හමුවුවහොත් ඔහු ළඟම ඇති රෝහලට ඇතුළුකර අන්තර් ශිරා ඔසසේ ඔහුට ග්ලුකෝස් ලබාදීමෙන් මොළයට සිදුවන හානි වළක්වා ගත හැකිය. මතට ඇබ්බැහි වූවන් පෙණහලු විස්ඵෝටය Lung abscess වැනි ආසාදනයන්ට ගොදුරුවීමට ඉඩ ඇති අතර ඔවුන් අඩු මස්තු ඇල්බියුමින් Serumalbumin ප්‍රමාණයන්ගෙන් යුත් අයවේ.



අක්මාවට සිදුවන හානි

දිගටම මත්පැන් පානය නිසා අක්මාවට හානි සිදුවීමට ඉඩ තිබේ. වසර හයක් පමණ අධික ලෙස මත්පැන් පානය  හේතුකොටගෙන ඇල්කොහොලික් හෙපටයිටිස් නම් රෝගී තත්වය ඇතිවෙන අතර එය නතර නොකළහොත් ඇල්කොහොලික් සිරෝසීස්
 නම් රෝගයට ගොදුරු විය හැකිය. නිතිපතා මත්පැන් පානය කරන්නන්ට  පෙන්ක්‍රියටයිටිස් Pancreatitis නම් අන්‍යාශය ඉදිමීමේ රෝගය වැලඳිය හැකිය. මීට අමතරව නිතිපතා මත්පැන් පානය කරන්නන්ගේ Gastric වහනය දුබල වී ආහාර රුචියද නැතිව යයි. නිසි පරිදි ආහාර අවශෝෂණය නොවීම නිසා ඔවුන් ඇමිනෝ අල, කැල්සියම්, ෆෝලික් අම්ල හා විටමින් බී 12 ඌනතාවලින් පෙළෙති. දිගු කලක් මත්පැන් පානය නිසා පර්යන්ත සාදාහය ඇතිවිය හැකිය.

මත්පැන්වලට ඇබ්බැහිවීම

වෛද්‍ය හේතු මත අප සියලු දෙනා දිනපතා මත්පැන් ස්වල්පයක් පානය කළ යුතුද? අනත් දරුවන් පිළිබඳව ස්වීඩන්හි හා අයෝවාහි කර ඇති අධ්‍යයනවලින්, මත්පැන්වලට ඇබ්බැහි වූවන්ගේ දරුවන් මත්පැන් පානය නොකරන්නන්ගේ දරුවන්ට වඩා ඒවාට ඇම්බැහිවීමේ ප්‍රවණතාව සිව් ගුණයකින් වැඩි බව හෙළිවී තිබේ. මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමට හෝ එයින් ඔබව ආරක්ෂා කිරීමට හෝ පෙළගස්වන ප්‍රබල ජානමය බලවේග ඇති බව මෙයින් පෙනී යයි. මත්පැන්වලට ඇම්බැහි වූවන් මිලියන 19ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන අතර ඒ හේතුකොටගෙන ඔවුන්ගේ සෞඛ්‍යයට සිදුවන හානිය සුළුපටු නොවේ. මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින සෙවන්ත් ඩේ ඇඩ්වන්ටිස්ට් නම් නිකායට අයත් ජනයාට අන් අයට වඩා හෘදයාබාධ වැලඳීමේ අවදානම බෙහෙවින් අඩුය.

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස