ලෝකයේ සිදුවන සමහර අපරාධ මිථ්‍යා විශ්වාස මත පදනම් කරගෙන සිදු කිරීම අතිශය ඛේදජනකය.විද්‍යාව සහ තාක්ෂණය කෙතරම් දියුණු වුවද මිථ්‍යාව පසු පස හඹායන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට නැත . ආසියානු සහ අප්‍රිකානු කලාපවල පමණක් නොව ඇමෙරිකානු කලාපයේ රටවලද මෙම මිථ්‍යා විශ්වාස අදහන ජනතාව වසෙන බව නොරහසකි.


ඇමෙරිකානු කලාපයේ ජනතාව අතර ප්‍රචලිත "කටුසුමිනිසුන් ""Lizard People"නම් න්‍යාය එයින් එක් මිථ්‍යා විශ්වාසයක් ලෙස සලකයි. එම න්‍යායට අනුව කටුස්සන්  පුමුඛ උරගයන් රහසිගතව ලෝකය පාලනය කරන අතර ඔවුහු පාලන තන්ත්‍රයේ  ඉහළින් සිටියි. මෙම කටුසු මිනිසුන් ඇමෙරිකාවේ ඉහළම ස්ථානවල මෙන්ම හොලිවුඩයේ පවා  සිටින බව එම න්‍යාය පිළිගන්නා පුද්ගලයන්ගේ අදහසයි. තවද මෙම උරගයන්, මිනීවෙස්ගෙන සිටින බැවින් හඳුනාගැනීමට නොහැකි බවත් මෙම උරගයන්ගෙන් ලෝකය බේරාගත යුතුය යන්න එම න්‍යායෙන් කියවේ. ඇමරීකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ සැන්ටා බාර්බරා නගරයේ වාසය කරන මැතිව් කලීමන්ද උක්ත කටුසු මිනිසුන්ගේ න්‍යාය ඉතා විශ්වාස කරන පුද්ගලයකු වේ.මැතිව් කලීමන්ට දරුවන් දෙදෙනකු සිටි අතර පිරිමි දරුවාගේ වයස අවුරුදු දෙකක් විය. ගැහැනු දරුවා තම දිවි ගමනේ මාස දහයක් පසු කළා පමණි.


අගෝස්තු මාසයේ දී කලීමන් තම බිරිය සහ දරුදෙදෙනා සමඟ ඈත කැලෑබද ප්‍රදේශයකට ගොස් කඳවුරු බැඳ ටික දිනක් ගතකිරීමට සැලසුම් සකස් කරමින් සිටියේය. ගමන සැලසුම් කරමින් සිටින අතර අගෝස්තු අටවැනිදා හිටිවනම කලීමන් සහ දරු දෙදෙනා නිවෙසින් අතුරුදන් වූහ.එසේම ඔහුගේ වෑන් රථයද අතුරුදන් විය. මෙම සිද්ධිය පිළිබඳ බලවත් ලෙස වික්ෂිප්ත වූ කලීමන්ගේ බිරිය, සිය සැමියාගෙන් දුරකථනයට ඇමතීමට උත්සාහ කළත් ද ක්‍රියාවිරහිතව තිබුණි. ඇය ඔහුට දුරකථනය හරහා කෙටි පණිවිඩ කීපයක් යැව්වත් කලීමන් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. අවසානයේදී ඇය මෙම සිද්ධිය පොලිසියට දැනුම් දුන්නාය.



ගෙදරින් අතුරුදන් වු කලීමන්, තම දරුදෙදෙනා සමඟ අගෝස්තු හත්වැනිදාය.මෙක්සිකෝවේ හොටෙල් සිටි එක්ස්ප්‍රස් නම් හෝටලයෙන් මතු වූහ, කලීමන් ඓහි කාමර පහසුකම් කලීන් වෙන්කරගෙන නොතිබුණු අතර මහ පරිශ්‍රමයක් දරා කාමරයක් වෙන් කර ගැනීමට කලීමන්ට හැකිවිය. කලීමන් සහ දරු දෙදෙනාගේ අතුරුදන්වීම පිළිබඳ විමර්ශන ආරම්භ කළ පොලීසිය, ඔහු සිටින ස්ථානය සොයාගැනීමට පරීගණක උපාංගයක් භාවිත කළේය. එම අවස්ථාව වනවිට ඔහු මෙක්සිකෝවේ රොසාරිටෝ නම්  නගරයේ සිටින බව තහවුරු විය. කෙසේ වෙතත් ඉන් පසුව එම පරිගණක උපාංගය යොදාගෙන ඔවුන් සිටින ඉසව්ව සොයා ගැනීමට ද උත්සාහ කළද එය අසාර්ථක විය. මේ අතර කලීමන්  සහ දරු දෙදෙනා හොටල් සිටි එක්ස්ප්‍රස් හෝටලයෙන් අගෝස්තු නව වැනිදින අළුයම තුනට පමණ බැහැරව ගියහ.

පැය තුනකට පමණ පසුකලීම නැවත හොටල් සිටී එක්ස්ප්‍රස් වෙත පැමිණියත් ඔහුගේ දරු දෙදෙනා දක්නට නොලැබුණි. මේ කිසිවක් නොදන්නා කලීමන්ගේ බිරිඳ තම සැමියා සහ දරු දෙදෙනා සෙවිමේ උත්සාහය අතහැර දැමුවේ නැත. කැලිෆෝනීයා පොලීසිය සිද්ධිය පිළිබදව විමර්ශන ඉදීරියට පවත්වාගෙන ගිය අතර එයට අදාළ සියලුම තොරතුරු මෙක්සිකෝවේ පෙඩරල් පොලිසියට ලාබාදුන්නේය.

අගෝස්තු මස නව වැනිදින මෙක්සිකෝවේ පෙඩරල් පොලිසිය වෙත ලැබුණු තොරතුරුකට අනුව කලීමන්ගේ දරු දෙදෙනාගේ සිරුරු හොටල් සිටි එක්ස්ප්‍රස් සිට කිලෝමීටර් විස්සක් පමණ ඈත ප්‍රදේශයක තිබී සොයාගැනීමට හැකිවිය.

එදිනම පෙඩරල් පොලීසිය විසින් කලීමන්  අත්අඩංගුවට ගන්නාලදී ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී වැදගත්  කරුණු රාශියක් අනාවරණය විය. තමා දරුදෙදෙනා හෝලයෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කළ බව ඔහු අනාවරණය කළේය. එම ඝාතනය සිදුකළේ ධීවර හෙල්ලක් (Fishing Spear)යොදා ගෙන බව ප්‍රකාශ කළ ඔහු  ඔවුන් මරා දැමුවේ ඔවුන් වැඩිහිටියන් වූ පසු රාක්ෂයන් බවට පත් වන බවට තමා විශ්වාස කරන නීසා බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තමා බිරියගේ සිරුර තුළ සර්ප ජාන ඇති බව එම ජාන තම දරුවන්ට බිරියගේ රුධිරය හරහා පැමිණ තිබෙන බවත් කලීමන් ප්‍රකාශ කළේය. තමා මේම දරුවන් ඝාතනය කිරීමෙන් කර ඇති බරපතළ අපරාධයක් බව පිළිගනීද යන්න ප්‍රශ්නය අසුව කලීම කියාසිටියේ  තමා ඒ සියල්ල කළේ උරග රකුන්ගෙන් සහ ලෝකය බේරා ගැනීමේ ඒකායන අරමුණින් බවය. පෙඩරල් පොලිසිය කලීමන්ට එරෙහිව මිනීමැරිමේ අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට අදහස් කරයි. මිථ්‍යා විශ්වාස ඇදහීම නිසා අහිංසක දරුවන් දෙදෙනකුගේ ජීවිතය එසේ කෙලවරවීම බරපතළ ඛේදවාචකයක් බව මෙක්සිකානු බලධාරිහු ප්‍රකාශ කළහ.

-නීතිඥ එස් එම් ජයසූරිය-