Stories-about-sinful-sons-and-daughters-who-were-abandoned-by-helpless-parents-during-the-Corona-era

'කොරෝනාව ඇත්ත වශයෙන්ම කියතොත් පුරා වෘත්තයක් වැනිය. එය විටෙක බොහෝ දෙනෙකුට මනුස්සකම්, අමනුස්සකම් ගැන පාඩම් රැසක් කියා දුන් ගුරුවරයකු විය. ඒ අතරින්ද වැඩි හරියක් අමනුස්සකම් ගැනය. කොරෝනාව නිසා සමාජයෙන් මතුවූ මනුස්සකම්ද සංඛ්‍යාත්මකව ගතහොත් සුළුපටු නොවේ.  මේ කොරොනා සමයේ තම නිවෙස් වල සිටි වයස්ගත මව්පියන්ට එන්නත ලබාදී ඔවුන් පණමෙන් රැක බලාගැනීම සියලුම දූදරුවන්ගේ යුතුකමය.

තම මව්පියන්ව වසංගත සමයේ එලෙස ආදරයෙන් කරුණාවෙන් බලාකීයාගෙන ඔවුනට තව චිරාත් කාලයක් ජීවත්වීමට නීරෝගී සුවපතන ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් මෙන්ම බල්ලන් බළලුන් ගාණට සලකා මහමග දමායන තිරිසන් දු පුතුන් ගැනද අසන්නට ලැබුණේ අප කළ පවකටය.
රෝගී මවුපියන්ට ඇප උපස්ථාන කරනු වෙනුවට ඔවුන්ට පහරදෙන.නිවෙස් වලින් එලියට ඇද දමන,

වධ හිංසා පමුණුවන,මහ මග අත හැර දමායන සිදුවීම් විසි හතර පැයේ බණ අහන ගුණදම් ආරක්ෂා කරන මේ ධර්මද්ධිපයෙන් අසන්නට දකින්නට ලැබීම නම් බරපතලම ඛේදවාචකයකි.

රෝගී මව්පියන්මහමග අතහැර දැමූ දරුවන් ගැන මුල්ම සිදුවීම අසන්නට ලැබුණේ හංවැල්ලෙනි. හංවැල්ල නගරයේ මහමග අයිනේ දමා ගියමේ අඩු සැමියන් කොරෝනා රෝගී බව පරීක්ෂණ වලින් හෙළි වූ අතර මේවන විට ඔවුන් කොතැනක සිටිනවා දැයි දන්නා කෙනෙකු නම් නැත වසංගත සමයේ තම අසරණ, අහිංසක මව පියාට හිංසනය කරන දුදරුවන් ගැන රට වටෙන්ම වාර්තා වන්නට පටන් ගන්නේ මේ සිද්ධියෙන් අනතුරුව යැයි කීවොත් නිවැරදිය.

වයෝවෘධ පුද්ගලයන් කළුබෝවිල රෝහලට ගෙනැවිත් එහි දමායැමේ ප්‍රවණතාවයක් මුල්වරට හෙලිවන්නේ මේ අතරය.ඒ බව හෙලිකරන්නේ  කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂන් බෙල්ලන මහතා විසිනි. එලෙස රැගෙන ආව වයෝවෘද්ධ කාන්තාවක ඇතුළු පුද්ගලයන් හයදෙනකු රෝහල් භූමියේ දමාගොස් ඇති බව වෛද්‍ය බෙල්ලන මහතා අනාවරණය කළේ පසුගියදාය,

 මේ පිරිසගැන සොයා බලද්දී හෙලි වූ ප්‍රධාන කාරණාව වූයේ ඒ අතර විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන්ද සිටින බවයි. ඇතැමුන්ට සිහිකල්පනාවක් හෝ තිබුණේ නැත. මේ ගැන තවදුරටත් විමර්ශනය කරද්දී අනුමාන කෙරුණේ මෙලෙසදමා ගිය වයෝවෘද්ධ පුද්ගලයන් රෝහලට කැඳවාගෙනවිත් ඇත්තේ ඔවුන්ගේ දුදරුවන්, ඥාතීන් හෝ භාරකරුවන් විසින් බවය. කළුබෝවිල රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ලොකු තදබදයක් ඇති මොහොතකදී මේ වැඩිහිටියන් දමාගොස් තිබුණේ හිත්පිත් නැති සේය,

මෙහි ඇති තවත් විශේෂයක් වූයේ මෙලෙස දමාගිය ඇතැම් වැඩිහිටියන් කළුබෝවිල රෝහල දක්වා ගෙනැවිත් ඇත්තේ සුඛෝපභෝගී වාහන වලින් වීමය.රෝහල් ගේට්ටුව අසලින් මේ වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුලට කැඳවාගෙන ගොස් ඇත්තේ එහි බාහිර රෝගී අංශයේ කාර්යභාර වෛද්‍යවරයාට පෙන්වීමට අවශ්‍ය බව කියමින්,පසුව රෝහලේ කිසියම් ස්ථානයකදී අතහැර දමා ගොස් තිබිණී. මේ වැඩිහිටියන් අතරින් ඇතැමෙකුගේ රෝගී තත්වයන් හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවලට ඇතුළුකරනු ලැබු අතර සෙසු අය රෝහල් පරිශ්‍රයේ රැඳී සිටින බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සංවේගයෙනි.

කොරෝනා වසංගත තත්වය රට පුරා පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ වයෝවෘද්ධ පුද්ගලයන් නිවෙස්වලම රඳවාගනිමින් රැකබලා ගත  යුතු බවත් එ වැනි අවස්ථාවකමෙලෙස රෝහලකටගෙනැවි අතහැරදමා පලා යාම බරපතල වරදක් මෙන්ම මිනිස්කමට නිගාවක් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේය. තමන්ටබලාගැනීමට නොහැකිනම් වැඩිහිටි නිවාසයකට හෝ බාරදීම යුතුකමකි.

එලෙස සිදුකිරීමෙන් මේ වැඩිහිටියන්ගේ ජීවිත අවදානම ද නැතිවනු ඇත. මේ ක්‍රියාවකළ පුද්ගලයින් හඳුනාගැනිම සඳහා සී.සී.ටී.විදර්ශන ඇසුරෙන්විමර්ශනයක්ද සිදුකැරෙන බව දනියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කොරෝනාව ආසාදනය වී සුව වූ එක්දරු මවක මිනුවන්ගොඩ රෝහලේ අතරම කරදැමූ දරුවන් ගැනද අනුවේදනිය කතාවක්වාර්තාවන්නේ මේ අතරය. මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ මේ මව පනස් අට හැවිරිදි ධම්මිකා රණවීර මහත්මියයි. ඇය එක්දරු මවකි. මේ මව සුවය ලැබීමෙන් අනතුරුව සැමියා හෝ දියණිය ඇය භාරගැනීමට රෝහලට පැමිණ සිටියේ නැත, ඇගේ දියණිය තලවතුගොඩ පෝතියාරාම පාරේ පදිංචිව සිටින බව මව පවසා තිබුණාය.වැලිකඩ රාජගිරියේදී උපත ලබා ඇති ධමිමිකා රණවීරට පිරිමි සහෝදරයන් 13 දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර ඉන් දොලොස් දෙනකුම මේ වනවිට මිය පරලොව ගොසිනි. ඇය 19 වසරක්ම සේවයේ නිරතව සිටියේ ලේබනනයේය.

 එහිදී උපයාගත් මුදලින් නිවෙසක් තැනුවාය.ඒ සැමියාට අයත් ඉඩමකය. දියණීයගේ විවාහ මංගල්‍ය සඳහාද ඇය මුදල් විය පැහැදම් කළාය. එහෙත් අන්තිමට ඇයට සිදුවුණේ කාත් කවුරුවන්නැති අයකු ලෙස රෝහලෙන් පිටවන්නටය. මේ කොරෝනා සමයේ අසරණ අහිංසක මව්පියන් රෝගයට බිලිනොදී ආරක්ෂා කරගන්නවා වෙනුවට ඒ අයට ගහන බනින වධ, හිංසාකරන එහෙමත් නැතිනම් මව පියාගේ නිවෙසට ගිනිතබන අමනදුපුතු ගැන රටවටෙන්ම අසන්නට දකින්නට ලැබිණි.

 තම මවගේ නිවෙසට ගිනිතබා මවට බරපතල පිළිස්සුම් තුවාල සිදුකළ බව කියන දියණියක් ඇඹිලිපිටිය,පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවටගෙනතිබුණේ පසුගියදාය.පනාමුර පොලිස් වසමේ රංචාමඩම ප්‍රදේශයේ පදිංචි පනස්හතර හැවිරිදි මව මෙලෙස බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කරසිටියාය, ඇගේ තත්වය බරපතල වීම නිසා ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුකර තිබිණි, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මව සමග දියණිය ඇතිකරගත් ගැටුමකින් පසු මෙලෙස නිවෙසට ගිනිතබා ඇති බව විමර්ශනවලදී හෙළිවිය.

75හැවිරිදි තම මවට කොස්ස කැඩෙනකම් පහර දී තුවාලකළ පුත්‍රයකු අත්අඩංගුවට පත්වන්නේද ඔය අතරය. මේ සිද්ධිය පොලීසියට වාර්තා වූයේ උහන පොලිස් වසමෙනි.මේ ''තිරිසන් පුත්‍රයා" මීට පෙරද මවටද වතාවක් පහරදී තීබිණී, මවගේ බැංකු ගිණුමේ ඇති මුදල් ඉල්ලා බීමතින් පැමිණෙන මේ පුත්‍රයා, මවට පහරදෙන බව පොලිස් විමර්ශනවලදී හෙලිවිය. මේ මාතාවගේ සැමියා මේ වනවිට ජීවතුන් අතර නැත,කොරෝනා සමයේ මව රැක බලාගන්නවා වෙනුවට පහරදී නිවෙස් වලින් පැන්නු ගුවන් හමුදා කෝප්‍රල් පුත්‍රයක් සහ ලේලියක් අත්අඩංගුවට ගෙන තිබුණේද උහන පොලීසිය විසිනි.

හැටදෙහැවිරිදී මේ මව පොලීසියට කියා තිබුණේ ලේලිය තමන්ගේ කම්මුලට පහරදී අත අඹරාදැමූ බවකි.සිද්ධිය වී තිබුණේ උහන පොලිස් වසමට අයත් පරණගම ගම්මානයේය. මේ සිද්ධිය පොලීසියට දැනුම් දුන් කාන්තාවන් දෙදෙනෙකුට සැකකාර ගුවන් හමුදා කෝප්‍රල්වරයා පොලිස් නිලධරයන් ඉදීරිපිටම මරණ තර්ජන සිදුකර තිබීණි.

එම කතුන් දෙදෙනා ඒ ගැන උහන පොලිසියට පැමිණිලි කළහ.තම එකම දියණියගේ අඩන් තේට්ටම් වලට මැදි වී මැදිරිගිරිය බස් නැවතුම නවාතැත්පල කරගත් වයෝවෘද්ධ අඹු සෑමියන් ගැන තොරතුරු වාර්තා වූයේද පසුගියදාය,

මේ ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාල මාතාවගේ දූ දරුවන් හත්දෙනාම පොලීසියට කැඳවා ඔවුන්ට බෞද්ධ දර්ශනයට අනුව මව්පියන් බලාකියා ගැනිමේ වැදගත්කම ගැන පහදා දී එක් දරුවකුට මාස හය බැගින් මව බලාකියා ගැනීමේ වගකීම පැවැරීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය. මෙම කොරෝනාවසංගතය අතර ඇතැමුන්ගේ අමනුස්සකම් මතුවෙද්දී මනුස්සකම්  ගලන උතුම් මිනිසුන්ද සිටීම සතුටට කරුණකි.


කොරෝනා රෝගී වෙලා සිට නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන යැම සඳහා තම පෞද්ගලික වාහන උපයෝගී කරගන්නා උතුම් මිනිසුන් දෙදෙනකු ගැන වාද්දුව සහ පානදුර ගොරකාන ප්‍රදේශයෙපසුගියදා වාර්තා විය.මින් එක් අයකු ගුරුවරයෙකි. ඔහු සිය මරුටි වර්ගයේ කාරයෙන් කොරෝනා රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවල ගෙනයැමට සෞඛ්‍යාරක්ෂිතවම ඉදිරිපත් වී සිටියේ වාහනයද ඊට අවශ්‍ය අයුරින් සුදානම් කරමිනි. පානදුරේ ගොරකාන පදිංචි හැට හැවිරිදි ව්‍යාපාරිකයකු වන සහස්‍ර විජිත මහතා සිය පෞද්ගලික ජීප් රථය කොරෝනාරෝගීන් රෝහල හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙනයාමට කටයුතුකර තිබුනේ පැය 24 පුරාමය.

 -අමල් රණබාහු-