තේ පානය දීඝායුෂ ලැබීමට උපකාර වන්නේය යන ජන ශ්රැතියේ සත්‍යතාවක් ඇති බව චීනයේ හා ජපානයේ කර ඇති අධ්‍යයනයන්ගෙන් හෙළිවී තිබේ. ඇමෙරිකාවේ දුම් පානය කරන්නන් හා සසඳා බලන විට ජපානයේ දුම් පානය කරන්නන්ගේ පිළිකා ප්‍රතිශතය අඩකින් පමණ අඩුය. ආමාශ පිළිකා සංඛ්‍යාව අඩු වශයෙන් දක්නට ඇත්තේ, ජපානයේ වැඩියෙන් තේ පානය කරන ප්රදේශවලය.
කළු, හරිත Green සහ ඕලෝන්ග් Oolong යනුවෙන් තේ වර්ග තුනක් වේ. තේ කොළ පානය සඳහා සකස් කිරීම පිණිස අනුගමනය කරන ක්‍රියාවලියේ ස්වරූපයට අනුව ඒවායේ තත්වය ද වෙනස් වේ. කළු තේ මෙන් නොව හරිත තේ, පානය සඳහා සකස් කරනු ලබන්නේ හුමාලයෙන් තම්බා වේළා ගැනීමෙනි. හරිත තේ සකස් කිරිමේ ක්‍රියාවලියේදී අලුත් තේ කොළවල අඩංගු හිතකර පෝෂණීය කොටස් වැඩිහරියක් ආරක්ෂා වේ.
තේ පානය අහිතකර කොලොස්ටෝල් (LDL) ප්‍රමාණය අඩු කර ගැනීමට උපකාර වේ.
කළු සහ හරිත තේ පානය කිරිමෙන් එල්.ඩී.එල්. නමින් හැඳින්වෙන අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කර ගත හැකිය. සති 3ක් කළු තේ පානය කළ තැනැත්තන්ගේ අහිතකර කොලොස්ටෝල් මට්ටම 7% සහ 11% අතර ප්‍රමාණයකින් අඩු වූ බව එක්සත් ජනපදයේ කෘෂි දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබේ. එච්.ඩී.එල්. නමින් හැඳින්වෙන හිතකර කොලොස්ටෝල් මට්ටම් කෙරේ මෙහිදී බලපෑමක් ඇතිවී නැත. “මෙයින් පෙනී යන්නේ ආහාරයේ කොටසක් ලෙස නිතිපතා තේ පානය කිරීමෙන් වැඩිදෙනකුට සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල
අත්කර ගත හැකිය යන්නයි'..
මෙම අධ්‍යයනය මෙහෙය වූ එම කෘෂි දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥ ජෝසප් ජූඩ් පවසයි. ලිපොප්‍රෝටීන් නම් ප්‍රෝටීනයක් මගින් සිරුරේ ඇති කොලොස්ටෝල් බෙදාහරින අතර, හිතකර කොලෙස්ට්‍රෝල් වැඩි ප්‍රමාණයක් තිබීම හදවත් රෝග වැලඳීමේ අවදානම අඩු කිරීමට උපකාර වේ. ජූඩ් සහ ඔහුගේ සහායකයන් විසින් පුද්ගලයන් 15 දෙනෙක් උපයෝගී කරගෙන සති හයක අධ්‍යයනයක් කර තිබේ. අධ්‍යයනයට සහභාගි වූ 15 දෙනාගෙන් අඩකට දිනකට කළු තේ කෝප්ප 5 බැගින්ද, ඉතිරි පිරිසට තේවලට සමාන රසයකින් යුත් වර්ණ ගැන්වූ ජලයද පානය කිරීමට සලස්වන ලදි. මෙහිදී තේ පානය කළ තැනැත්තන්ගේ අහිතකර කොලොස්ටෝල් මට්ටම් සති තුනක් තුළ 7.5% ප්‍රමාණයකින් අඩු විය. අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම් අඩුවීමට හේතුව කැෆේන් නොවන බව විද්‍යාඥයෝ ඔප්පු කළහ. මෙම අධ්‍යයනයට සහභාගි වූවන්ට එදිනෙදා අවශ්‍ය කෙරෙන ආහාර දීමෙන් ඔවුන්ගේ ආහාරයද පාලනයට යටත් කරන ලදි.
හරිත තේ මගින් අහිතකර කොලොස්ටෝල් පමණක් නොව ට්රයිග්ලිසෙරයිඩ් මට්ටම්ද අඩු කරන බව පෙනී ගොස් තිබේ. ඒවායේ ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලපෑම, ධමනිවල අහිතකර කොලොස්ටෝල් ඔක්සිකරණය වීමෙන් වළක්වාලයි. අනර්ථකාරි වන්නේ ඔක්සිකාරක එල්.ඩී.එල්. නමින් හඳුන්වන අහිතකර කොලොස්ට්රොල්ය. රුධිර නාලිකා සිහින්වීම කෙරේ වැඩි වශයෙන් බලපාන්නේ ඔක්සිකාරක එල්.ඩී.එල්. කොලොස්ට්රෝල්ය.
හරිත තේ රුධිර කැටිගැසීම් වළක්වාලයි.
හෘදයාබාධ හා ආඝාත හටගැනීමට ප්‍රධාන වශයෙන් හේතු පාදක වන්නේ රුධිර කැටි හට ගැනීමයි. ඇස්ප්‍රීන් මෙන් කාර්යක්ෂම ලෙස අසාමාන්‍ය රුධිර කැටි හටගැනීම හරිත තේ මගින් වළක්වාලන බව පෙනී ගොස් තිබේ. හරිත තේ මගින් පට්ටිකාවල Platelets ඇලෙනසුලු ස්වභාවය ද නැතිකරයි. ධමනිවල රුධිර කැටිගැසීමේ අවදානම හරිත තේ මගින් දෙයාකාරයකින් අඩුකරයි. පළමුව ඇස්ප්‍රීන් මෙන් හරිත තේ මගින් ත්රොම්බොක්සින් ඒ 2 සෑදීම වළක්වාලයි. දෙවනුව පැලට් ඇක්ටිවේටින් ෆැක්ටර් (PAF) නම් තවත් කැටිගැසීම් කාරකයක් හටගැනීම ද හරිත තේ මගින් වළක්වාලයි.
ත්රොම්බොන්සේන් මගින් ධමනි තුළ රුධිර කැටි හටගැනීම පමණක් නොව ධමනි හැකිළීමද ඇති කරයි. තේ මගින් ත්රොම්බොක්සේන් සෑදීම වළක්වාලීමෙන් හෘදයාබාධයක් හෝ ආඝාතයක් වැලඳීම වළක්වාලයි. හරිත තේ මගින් රුධිර කැටි ගැසීම වළක්වාලන්නේ ඇස්ප්රීන්වලට වඩා වෙනස් ආකාරයකටය. හෘදයාබාධයක් හෝ ආඝාතයක් හටගැනීම වළක්වාලීම සඳහා ඔබ ඇස්ප්‍රීන් අඩු මාත්‍රාවක් භාවිත කරන්නේ නම් තේ පානය කළත් එම මාත්‍රාව දිගටම ගත යුතුය.
හරිත තේ රුධිර පීඩනය අඩු කරයි.
ධමනිවල නම්‍යතාව හා ඇදෙනසුලු ගතිය නොමැති කම අධි රුධිර පීඩනය හටගැනීමට තුඩු දෙන එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. තුරුණු වියේ පසුවන්නන්ගේ ධමනි හද ගැස්මේ සෑම වාරයක් පාසාම ආයාසයකින් තොරව සංකෝචනය හා ප්‍රසාරණය වේ. වයසට යෑමත් සමඟ ධමනිවල නම්‍යතාවය හීනවේ. මීට ප්‍රථමයෙන්ම සඳහන් කළ පරිදි ධමනි හැකිලීමට එක් හේතුවක් වන ත්රොම්බොන්සේන් සෑදීම හරිත තේ මගින් වළක්වාලයි.
වකුගඩු මගින් වහනය කරන ඒ.සී.ඊ. නමින් හඳුන්වන එන්සයිමය ද අධි රුධිර පීඩනය හටගැනීමට තුඩු දෙන තවත් වැදගත් හේතුවකි. කැප්ට්රොපිල්, එනප්රිල් සහ ලිසිනොප්රිල්, ඒ.සී.ඊ. එන්සයිම වහනය වළක්වාලන ඖෂධයි. හරිත තේ මගින් ඒ.සී.ඊ. වහනය ස්වාභාවිකවම වළක්වාලයි. අධි රුධිර පීඩනයට ප්‍රතිකාරයක් ලෙස ඔබ තේ පානය උපයෝගී කර ගැනීමට අදහස් කරන්නේ නම් එය කළ යුත්තේ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටත්ය.
තේ පානය පිළිකා හටගැනීම වළක්වාලයි.
සමේ පිළිකා හටගැනීම වළක්වා ගැනීමට ඇති හොඳම මාර්ගය තේ පානය කිරිම යයි ඕස්ටේ්රලියාවේ පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. (තේ සම්බන්ධ පර්යේෂණ බොහෝමයක් කර ඇත්තේ හරිත තේ උපයෝගී කරගෙනය) දැනට දුම් පානය කරන හා කලින් දුම් පානය කළ අයට පෙණහලු පිළිකා වැළඳීමේ අවදානම තේ පානයෙන් බොහෝ දුරට අඩු කර ගත හැකිය. හරිත තෙ වල අඩංගු කැටචින්ස් Catechins මගින් පිළිකා හටගැනීම පහත දැක්වෙන ආකාරයන්ගෙන් වළක්වාලන බව පෙනී ගොස් තිබේ.
01. නයිට්රොසැමින්ස් සහ ඇෆිලටොක්සින්ස් වැනි ආහාරවල අඩංගු පිළිකා කාරකයන්ගේ බලය අඩු කිරීමට හරිත තේවල අඩංගු කැටචින්ස් උපකාර වේ.
02. පිළිකා කාරකයක් සෛල ඩී.එන්.ඒ.වලට සම්බන්ධවීම වළක්වාලීමට ඒවා උපකාර වේ.
03. සමහර පිළිකා ඇතිකරන, නිදහස් ඛණ්ඩක, ඩී.එන්.ඒ. හානි ඇතිවීම්, එමගින් වළක්වාලයි.
04. සමහර පිළිකාවන්ට මඟපාදන, බැස්ටීරියා මගින් හටගන්නා විකෘතිතාව එමගින් වළක්වාලයි.
05 සමහර පිළිකා කාරකයන් ඩී.එන්.ඒ.වලට හානි පැමිණවීමට ප්‍රථම සක්‍රියවීම වැළැක්වීම සඳහා බඩවැල, අක්මාව හා පෙණහලු තුළ ඇති එන්සයිම හා
ප්‍රතිඔක්සිකාරකයන් සමග ඒවා ක්‍රියා කරයි.
06. අයනීකරණ විකිරණයන් Ionizing Radiation සහ පාරජම්බුල විකිරණ පැතිරිමෙන් ඇති වන අහිතකර ප්‍රතිඵලවලින් ආරක්ෂ වීමට ඒවා උපකාර වේ.
අර්බුදකාරී ගෙඩි Tumors හටගැනීම හරිත තේ මගින් වළක්වාලන බව සමහර අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබේ. පිළිකා කාරකයන් මුලින් හටගැනීමට හා වර්ධනය වීමට හරිත තේ බාධා පමුණුවන බව පෙනී ගොස් තිබේ. එබැවින් පිළිකා හටගැනීම වළක්වාලීම සඳහා ස්ථානයක් වශයෙන් හෝ අතිරේක ආහාරයක් වශයෙන් තේ පානය කිරිමෙන් මහඟු ප්‍රතිඵල අත්කරගත හැකිය. බටහිර රටවල බහුල වශයෙන් දක්නට ලැබෙන ආහාර නළයේ ඇඩිනොයිඩ කාසිනෝමා තත්ත්වය Adenocarcinoma ඇතිවීම වළක්වාලීමට ද හරිත තේ උපකාර වේ.
හරිත තේ වලින් අත්වන වෙනත් සෞඛ්‍ය ප්රතිලාභයන්
මේදය දවාලීමේ ප්‍රබල ශක්තියක් හරිත තේ සතු බව මෑතකදී කර ඇති විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හෙළිවී තිබේ. ඒවායේ අඩංගු කැටෙචින් පොලිපොනොල්ස් බර අඩු කර ගැනීමට ද උපකාර වන බව අනාවරණය වී ඇත.
උකුළ ප්‍රදේශයේ වේදනාව
පුරස්ථි ග්‍රන්ථිය ප්‍රදාහය, වියපත් පිරිමින් බොහෝ දෙනෙක් ගොදුරු වන රෝගී තත්වයකි. මේ රෝගී තත්ත්වයේදී යටි බඩ ප්‍රදේශයේ හා ලිගුව අවට දරුණු වේදනාවක් හටගන්නා අතර ප්‍රතිජීවක ප්‍රතිකාරයන්ගෙන් ඊට සැලකිය යුතු සහනයක් සලසා ගැනීම අපහසුය. තේවල අඩංගු බයෝෆෙල්වනයිස් උපයෝගී කරගෙන ප්‍රතිකාර කිරීමෙන් මේ රෝග ලක්ෂණයන්ට සහනයක් සැලසෙන බව හෙළිවී තිබේ.
පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහයෙන් පෙළෙන රෝගීන් උකුළ ප්‍රදේශයේ වේදනාවන්ට ප්‍රතිකාර ගැනීමට ප්‍රථම එය පුරස්ථි ග්‍රන්ථි පිළිකාමය තත්වයක් දැයි හඳුනාගැනීම සඳහා මෞත්‍රලිංගික විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවී පී.එස්.ඒ., මූත්‍රා රෝපණ, ස්කෑන් ආදි පරික්ෂණයක් කර ගැනීම බෙහෙවින් වැදගත්ය.
- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන - කේ.එන්.ඕ. අමරදාස
0 Comments