The-husband-who-killed-his-wife-who-was-trying-to-leave-the-country-and-committed-suicide

ඌරගස්මහදිය කොරකීන ප්‍රදේශයේ ජීවත් වූ නිහාල් සහ නිල්මිණි අඹු සැමි යුවළකි. ඔවුන් දැනට වසර ගණනාවකට පෙර සිට එකට ජීවත් වුවත් නීතියෙන් එක්වී සිටියේ නැත. දෙදෙනාම ඉන් පෙර නීතනනුකූලව විවාහ වලින් වෙවී සිටී අයවලුන්ය.  නිල්මිණීට පෙර විවාහයේ දරුදෙදෙනකු සිටියත් ඔවුන් ජීවත් වෙන්නේ වෙනමය. නිහාලට පෙර විවාහයෙ දරුවෙක් සිටී. එහෙත් නිල්මිණිට හා නිහාල්ගේ  කැදැල්ලට දරුපැටවු එක්වී සිටියේ නැත.දැනට වසර හයකට පමණ පෙර ඔවුන් මෙසේ එකට ජීවත් වීමට පටන්ගෙන තිබිණි.  දෙදෙනා එක්වී එක වහලයක් යට කල් ගෙවද්දී අග හිගකම් ගලාඑන්නට පටන්ගත්තේය. නිහාල්ගේ රැකියාව වූයේ කුරුඳු තැලීමයි. ඉන් ලැබෙන ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බැවින් පසුකලකදී නිල්මිණී ගෘහසේවිකාවක් ලෙස කුවේට බලා යන්න‍ෙ පිළියම් ලෙසිනි. ඇය රටයනවිට ඔවුන් පදිංචි  වී සිටියේ කුඩා නිවෙසකය.

ඇය වසර දෙකක් පමණ සේවය කොට යහමින් මුදල්ද රැගෙන ලංකාවට ආවේ තම සැමියා සමග එක්වී නව නිවෙස ඉදිකරගෙන නිවී හැනහිල්ලේ පවුල් දිවියක් ගත කිරීමටය,ඒ මීට මාස තුනකට පෙරය. තම පැරණි නිවෙස කඩාදමා නව නිවෙසක් ඉදිකිරීමට නීත්‍යානුකූල නොවන සැමියා සමග ඇය හරිහරියට වැඩ කළාය. මෙසේ දිනෙන් දින නිවෙස ඉහළට නැංවුණේ නිල්මිණීන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි.

උපයගෙන රැගෙන ආ මුදල,නිවෙස සැදීම සඳහා වැයවන්නට පටන්ගත්තේ සිතන්නටත් බැරිතරම් වේගයෙනි.එහෙත් වහලයේ වැඩ කටයුතු නිමකර ගැනීමට හැකිවිය.  මේවනවිට නිල්මිණීට නැවත පැමිණෙන ලෙසට පෙර  පෙර සේවය කළ කුවේට්හි නිවැසියන්ගෙන් දුරකතන ඇමතුම් එන්නට පටන්ගත්තේ ඇයගේ  සේවයේ විශිෂ්ටත්වය පෙන්වමිනි. ඇයට නැවත විදේශ ගතවීමටද ආශාවක් ඇති විණි. එරට රස්සාවට යන ගැහැනු මෙරට නතරවන්නට අකමැතිය යන කියමන  සාක්ෂාත් කරමිනි.  මේ ගැන නිහාල් සමග පැවසුවද ඔහු ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීය. ඇතැම් විට මේ සම්බන්ධව දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුද ඇතිවිය.නිහාල් කුරුඳු තැලීම කළත් ඔහුගේ අතේ මුදල් ගැවසුනේ නැත. ඔහු ජීවත්වූයේ තම බිරියගෙන්  ලැබුණු මුදලින්ය.

මෙසේ විටින්විට අඩදබර ඇති වූවත් දෙදෙනා එකිනෙකාට ආදරයෙන් කල් ගත කළහ. තම නිවෙසේ වැඩකටයුතු අවසන් අදියරේ පවතින  නිසා ඔවුන් සිටියේ සතුටිනි. නමුත් නිල්මිණීට ඇතිවූ නැවත විදේශගතවීමේ සිතිවිල්ලද සිතෙන්  ඉවත් වූයේ නැත. මෙලෙස සිටින අතරතුර මේ දෙදෙනා පසුගිය පසළොස්වක පුර පෝයදින රාත්‍රී අට වනතුරු ගතකළේ නිල්මිණීගේ සහෝදරියගේ නිවෙසේය. ඔවුන් දෙදෙනා පසුව තම නිවෙසට  පැමිණෙද්දී බොහෝ රෑබෝවී තිබිණි. පෝයදාට පසුදින උදේ වරුවේ නිල්මිණීගේ  සොහොයුරිය රේණුකා නිල්මිණීට දුරකථන ඇමතුමක් ගත්තද එයට ප්‍රතිචාරයක් ලැබුණේ නැත.නැවත නැවත උත්සාහ කළත්   සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට නොහැකිවිය. ඒනිසා ඇය නිල්මිණීලාගේ නිවෙස දෙසට ගියාය. ඒවිට ඇය දකින්නේ ඉදිරිපසදොර ඇරී තිබෙන බවය.

ඇය නිල්මිණීට කතාකළත් ඊට ප්‍රතිචාර ලැබුණේ නැත. රේණුකා නිවෙස පිටුපසට ගියේ කුරුඳු ඉඩමේ නිල්මිණී ඇතැයි සිතාගෙනය.   නිල්මිණි හෝ නිහාල් එහි නොසිටි බැවින් ආපසු පැමිණි ඇය විවරව තිබූ දොරින් නිවෙස ඇතුලට ගියාය. සාලය පසුකර නිල්මිණිලගේ කාමරය දෙසට යනවිට දුටු දෙයින් ඇය බය බිරාන්තව ගොළුවී ගියාය. ඇය දුටුවේ තම සොයුරිය ඇඳමත උඩුබැලි වැතිර සිටින අයුරුත්  නිහාල් ඒ අසල බාල්කයක එල්ලී සිටින ආකාරයය. එම ස්ථානයෙන් වහා ඉවත්වූ ඇය නිවෙසේ ඉදිරිපසට පැමිණ ආධාර ඉල්ලා කෑගසන්නට වූවාය. ඇය කෑගැසීම ඇසුනු අවට පදිංචි කිහිපදෙනකු එම ස්ථානයට පැමිණියහ. ඔවුන් වහා මේ බව පොලිසියට දැනුම් දෙන ලදි.




ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට, කණ්ඩායම සමග සිද්ධිය වූ ස්ථානයට ගොස්    විමර්ශන කටයුතු ආරම්භ කළේය. නිල්මිණීගේ සිරුර ඇඳමත උඩු බැලුව තිබූ අතර ඇයගේ එක් අතක මල්කළඹ තිබෙන අයුරු දක්නට ලැබුණි. තවදුරටත් නිවෙස පරීක්ෂා කරන විට දුටුවේ රෙදි මදින ස්ත්‍රික්කයක් ඉදිරිපස කාමරයේ ඇඳ මත තිබෙන බවත් එහි විදුලිය සම්බන්ධ කරන වයර් කොටස නොමැති බවය.   වටපිට බැලීමේදී දුටුවේ එම වයර් කැබැල්ල අසල තිබෙන බවයි. මෙම දත්ත වලින් පැහැදිලි වූයේ මිනීමැරුමක් සිදුවී ඇති බවයි.එය පවුලේ ප්‍රශ්නයක් මත ඇති වූ සිද්ධියක්දැයි සැකයක් ඇතිවන්නේ ඉන් අනතුරුවය.  මෙම සැකය තීව්ර කළේ නිවෙස තුළ තිබූ කැඩී බිඳිගිය ජංගම දුරකථනය සොයා ගැනීමෙනි. මියගිය තැනැත්තියගේ හැඳුනුම්පත හෝ පාස්පොට් ආදී ගමනකට අවශ්‍ය කිසිවක් සොයාගැනීමට ද නොහැකිවිය.


මේ අයුරින් මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ඉලන්දාරී දේවගේ නිහාල් රවින්ද්‍ර සහ ඔහුගේ සහකාරිය 37 හැවිරිද විලුබ විතානගේ නිල්මිණී යන දෙදෙනාය.  මෙම සිද්ධිය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහෙස්ත්‍රාත් ඉසුරු දොඩන්ගොඩ මහතා විසින් සිදුකළ අතර මියගිය දෙදෙනාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය  මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යවන ලෙස පොලිසියට නියෝග කළේය.


-අනුරාධා ප්‍රියදර්ශන--