The-number-of-jobs-in-the-country-has-increased-a-bit-these-days---but-let-us-go-on-a-journey

ඔබ මේ වනවිට විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? ඔබ විදෙස්ගත වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් අනතුරුවද? ලියාපදිංචි නොවී විදෙස් රැකියාවලට ගිය පුද්ගලයන්  බහුතරයක් පසුගිය කාල වකවානුවේදී විවිධ රැවටීම්, සුරාකෑම්වලට ලක්වී තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ සේවා  නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය ප්‍රකාශක) මංගල රන්දෙණිය මහතාව කතාබහකට සම්බන්ධ කරගතිමු.

මේ දිනවල විදේශ රැකියාවලට යන පිරිස් වැඩි වෙලා නේද?

ඔව්. මේ දවස්වල විදෙස් රැකියාවලට යන පිරිසෙහි වැඩිවීමක් තිබෙනවා. අපට මැදපෙරදිගෙන් රැකියා ඇණවුම් ප්‍රමාණය වැඩියෙන් ලැබෙනවා. මේ වෙද්දී මැදපෙරදිග රටවල ඉදිකිරීම්, ගුවන්තොටුපළ සේවා, හෝටල් වැනි ක්ෂේත්‍රවල වැඩකටයුතු අරඹා තිබෙන නිසා, අනුමැතිය දීලා තිබෙන බලපත්‍රලාභීන් හරහා ඒවායේ රැකියා ඇබෑර්තුවලව් පිරිස් කැඳවනවා. විදේශ රැකියා කාර්යාංශය හරහා අනුමැතිය ලබාදීලා තිබෙන ආයතන විදේශවලින් රැකියා ඇබෑර්තු ගෙවා ගන්නවා.



කෝවිඩ් තත්ත්වයත් මැද විදෙස්ගත වන පුද්ගලයන්ට රජය මගින් සිදුකරන විශේෂ වැඩසටහන් තිබෙනවාද?

ඔව්. දැන් ලංකාව හොඳ එන්නත්කරණයක් සහිත රටක්. ඒ වගේම රැකියා සඳහා පිටත්ව යන අයට ෆයිසර් එන්නත් මාත්‍රා  දෙකම ලබාදීමත්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් අයට බූස්ටර් මාත්‍රාව මාසෙකින් ලබාදීමත් රජය ගත්තු විශේෂ තීරණයක්. සාමාන්‍යයෙන් බූස්ටර් මාත්‍රාව දෙන්නේ මාස හයකින් වුණත්, රැකියා සඳහා විදෙස්ගත වෙන අයට එය මාසයකින් ලබාදෙනවා.

විෂයභාර අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාවට රැකියා අවස්ථාවන් ලබාගැනීම පිළිබඳව රටවල් දෙකක් සමග ගිහිල්ලම සාකච්ඡා කළා. මේ තිබෙන තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ නැඹුරුතාවයක් මැදපෙරදිග කලාපයෙන් තිබෙනවා. ඇත්තටම මැදපෙරදිග කලාපය තමයි විදේශ රැකියා  ක්ෂේත්‍රයට ආශිර්වාදයක් වන කලාපය.  ඒ වගේම මේ වෙද්දි විදේශ රැකියාවලට යද්දි තිබෙන සියලු බාධාවන් ලිහිල් කර තිබෙනවා. ඒ කියන්නේ නීතිරීතීන් අයින් කරලා කියන එක නෙවෙයි. ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ප්‍රජාවට මිත්‍රශීලී ආකාරයෙන් තමයි සිදුකරන්නේ. දැන් බලපත්‍රලාභීන්ට සහ රැකියාවලට යන අයට තමන්ගේ කාර්යයන් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්.

ඒ කියන්නේ පහුගිය කාලයේදී පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම, එහෙම නැත්නම් පෙරගමනික කාර්යයන් ඉටුකර ගැනීම දුෂ්කරව පැවතියා. දැන් ඕනෑම වීසා බලපත්‍රයක් තිබෙන කෙනෙක් රැකියාවකට යනවා නම් ඒ ලියකියවිලි ඉදිරිපත් කරලා කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න පුළුවන්.  

මේ දිනවල විද්දේශ රැකියාවලට පිටත්ව යන පුද්ගලයන් දැනගත යුතු විශේෂ කරුණු මොනවාද?

 මුලින්ම අපි කතා කරමු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම ගැන. රැකියාවක් සඳහා පිටත්ව යන ඕනෑම කෙනෙකු කාර්යාංශයේ ලියාපදිංචි වීමට නම් වලංගු වීසා බලපත්‍රයක් (රැකියා, සංචාරක හෝ ඕනෑම) අවශ්‍යයි. ඒ වගේම රැකියාව ලබාදීම සම්බන්ධයෙන් තිබෙන ලේඛනයක් අපිට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක ගිවිසුමක් වෙන්න පුළුවන්, රැකියා ප්‍රදානයක් (Job Offer), විද්‍යුත් තැපෑල මගින් රැකියාව සම්බන්ධයෙන් වූ ලේඛනයක් වෙන්න පුළුවන්. ඒවගේම  සේවා යෝජකයාගේ රැකියා ස්ථානය,

දුරකථන අංක සහ ලිපිනයන් අවශ්‍ය වෙනවා. ඒ දේවල් ඉදිරිපත් කළාම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගන්න පුළුවන්. ප්‍රථම වතාවට රැකියාවට යන අයට රුපියල් 16,416ක ලියාපදිංචි ගාස්තුවක් අය කරනවා. දෙවන වතාවට යන අයට ලියාපදිංචිය ගුවන්තොටුපළෙන් හෝ ලබාගන්න පුළුවන්. දෙවන වතාවේ නව  සේවා ස්ථානයකට යනවා නම් ඔවුන්ගේ ලියාපදිංචි ගාස්තුවත් රුපියල් 16,416මයි. දෙවන අවස්ථාවේදී හෝ නැවත වතාවක් ඒ  සේවා ස්ථානයටම යනවා නම් ඔවුන්ගේ ලියාපදිංචි ගාස්තුව රුපියල්  3500ක් වෙනවා.



ලියාපදිංචිය සතියේ දිනවල සවස 7-8 වෙනතුරු  අප ප්‍රධාන කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම කටුනායක  සහන පියස තුළිනුත්, දිවයිනේ අනෙකුත් පළාත් කාර්යාලවලිනුත්  ලියාපදිංචිය ලබාගන්න පුළුවන්. ලියාපදිංචිය තමයි අවසාන කාර්යය. නමුත් ලියාපදිංචියට පෙර දැනගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. තමාගේ වෘත්තියට අදාළව පිළිගත් සහතිකයක් නොමැති අය කාර්යාංශයේ  දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙන්න ඕනේ. ඒක  ඔන්ලයින් ක්‍රමයට අපි ලබාදෙනවා.

ඔවුන් කාර්යාංශයට එන්න ඕනේ ලියාපදිංචිය සඳහා පමණයි. ඒ වගේම ආගන්තුක සත්කාර සහ පිරිසුදු කිරීමේ වෘත්තීන්ට යන අයට දින දහයක, දොළහක කාලයක් ලැබෙන විදිහට ඔන්ලයින් ක්‍රමයටම පුහුණුව ලබාදෙනවා. සාත්තු සේවයටත් ඔන්ලයින් ක්‍රමය හරහා පුහුණුව ලබාදෙනවා. මේ  මොහොතේදී ඒ වෘත්තීන්ට යන්න කවුරුහරි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔවුන් සිදුකළ යුත්තේ ළගම තිබෙන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔන්ලයින් ක්‍රමයේ පුහුණු පාඨමාලාවකට ඇතුළත් වීම.

ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් පවුල් පසුබිම් වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත යුතු ක්‍රියාවලියක් තිබෙනවාන්නේ. ඒ පිළිබඳවත් මෑතකාලීනව කරපු සමීක්ෂණයකින් පසුව, මේ මොහොතේදී පුද්ගලයන් නිවෙස්වලට යාම සුදුසු නැති නිසා ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි නීත්‍යනුකූල ලේඛනයක් ලබාගන්න තීරණය කර තිබෙනවා. ඒ තමයි තමාගේ පවුලේ තොරතුරු පිළිබඳව දිවුරුම් කොමසාරීවරයෙකුගේ අත්සනින් යුතු දිවුරුම් ප්‍රකාශයක් රැකියාවට යන තැනැත්තිය කාර්යාංශයට ලබාදීම. ඒ වගේම වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්ට කෙසේවත් දිවුරුම් ප්‍රකාශ ලබාගන්න බැහැ.

ලියාපදිංචි නොවී විදෙස් රැකියාවකට යන පුද්ගලයන් මුහුණ දෙන ගැටලු මොනවාද?


ලියාපදිංචි නොවී විදෙස්ගත වන පුද්ගලයන්ව හඳුන්වන්නේ අවිධිමත් ආකාරයට විදෙස්ගත වූවන් ලෙස. අවිධිමත්, ලේඛන රහිතව විදෙස්ගත වූ පුද්ගලයන් විදේශයන්හිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. රැකියා ලාභියෙක් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතීන් සහ නීතීන් තිබෙනවා. ඒවායේප්‍රධාන කාරණය තමයි රැකියාව කරන  කෙනාට රජයේ අනුග්‍රහය, රජයේ අනුදැනුම මත සේවා ගිවිසුමක් තිබිය යුතුයි යන්න. ලියාපදිංචි නොවුණු කෙනෙක් කියන්නේ එයා අත්සන් කරලා තිබෙන සේවා ගිවිසුම ගැන රජය දන්නේ නැහැ කියන එක. එතකොට ඒ ගිවිසුම ගැන රජයේ වගකීමක් නැතිවෙනවා. එතකොට මේ සේව්‍යයා මුහුණ දෙන ප්‍රශ්නයකදී ඒ ගිවිසුම්වල කොන්දේසි අදාළ තැනැත්තා හෝ තැනැත්තිය හරියාකාරව කියවා ගත්තාද, තේරුම් ගත්තද, ගිවිසුමට එකඟ වුණේ මොන පදනමකින්ද, ඒ කොන්දේසි කම්කරු නීතීන්වලට අනුගතයිද, ඒ කොන්දේසි ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන කම්කරු නීතිවලට කෙතරම් එකඟද වැනි දෑ පිළිබදව බරපතළ ප්‍රශ්නයක් ඇති කරනවා.


රැකියාවක් සඳහා විදෙස්ගත වූ කෙනෙක් රැකියාව අතරදී මුහුණ දෙන ගැටලුවක් විසඳා ගැනීමට තිබෙන්නේ ප්‍රවේශ දෙකයි. ඒ තමයි තමාගේ මව් රටේ සහයෝගය අරගෙන ගැටලුව විසඳා ගැනීම සහ තමා වැඩ කරන රටේ කම්කරු උසාවිවලට තමා පෞද්ගලිකව ඉදිරිපත් වෙලා, නීතිඥයෝ හොයාගෙන ප්‍රශ්නය විසඳා ගැනීම. මේ ක්‍රම දෙකෙන්ම ඒ රටේදී ගැටලුවක් විසඳා ගැනීම අදාළ තැනැත්තාට තනියම කරන්න පහසු දෙයක් නොවෙයි. මේ පුද්ගලයාට සිදුවෙනවා   ගැටලුව ආරම්භයේදීම තානාපති කාර්යාලයේ සහයෝගය ලබාගැනීමට. තනාපති කාර්යාලයේ සහයෝගය ලබාගැනීමේදී  බලපාන ප්‍රධානම දෙය තමයි මේ පුද්ගලයා ලංකාවේදි ලියාපදිංචි වෙලා තිබෙනවාද යන්න.

ලියාපදිංචි වෙලා නැතිව ගිවිසුමක් රජයට ව ඉදිරිපත් නොකර පැමිණි කෙනෙක් නම් එයාට කාර්යාංශ සහයෝගය ලබාගැනීම, රජයේ සහයෝගය ලබාගැනීම අතිදුෂ්කරයි.  ශ්‍රමිකයෙකුට ප්‍රශ්නයක් ආවාම ඒ ශ්‍රමිකයා අතේ ප්‍රශ්නය විසඳා ගැනීමට මුදල් නැත්නම් රජය ඒ සඳහා මුදල් වියදම් කළ යුතුයි. මෙතනදි රජය මුදල් වියදම් කරනවා කියන්නේ මේ වින්දේශ රැකියා ක්ෂේත්‍රය අදාළ ආයතනය තමයි ඒකට මුදල් වියදම් කරන්නේ.

ලියාපදිංචි නොවී ගිය කෙනෙකුට කිසිම විදිහකින් රජයට සහයෝගය ලබාදෙන්න බැහැ කියන එක තමයි එතැනින් කියවෙන්නේ. එවැනි අවස්ථාවකදී විදේශ කටයුතු අමාත්‍යාංශයට රයෙන් විශේෂ අවසර ගන්න වෙනවා. ඒවායේදීත් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අපි මේකට කියන්නේ 'යන ගමනක් අපිට කියලා යන්න කියලා.  ලියාපදිංචි වෙලා යන හැම කෙනාටම විශාල ආරක්ෂාවක් ලැබෙනවා.

ලියාපදිංචි නොවී විදෙස්ගත වන පුද්ගලයන් රැවටීම්වලට ලක්වන්නේ කෙලෙසද?


ලියාපදිංචි නොවී ගිය අය ගියේ කොහෙන්ද කියල දන්නේ ඔවුන්  විතරයි. සමහරවිට ලංකාවේදී කියන තැනට නෙවෙයි අවසානයේදී  ඔවුන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. රට යන කෙනාව පහසුවෙන් සුරා කෑමකට ලක්කරන යවන කෙනාට පුළුවන්. ගිවිසුමකින් තොරව රැකියාවකට දාලා ශ්‍රමය සූරාකන්න පුළුවන්. අවදානම් රැකියාවකට දාලා අනාරක්ෂිතව මේ පුද්ගලයාගෙන් වැඩ අරගෙන ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජන ඇතිවෙන්න පුළුවන්. ඔවුන්ගෙන් මූල්‍යමය සූරා කෑමකට ලක්කරන්න පුළුවන්. ඒ හරහා තමන්ගේ තිබෙන ආර්ථික තත්ත්වයන් බරපතළ ලෙස ඇදවැටෙන්න පුළුවන්.

ඒ වගේම කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශ්වයම ලිංගික සූරා කෑම්වලට භාජනය වෙන්න පුළුවන්. අලුත්ම තත්වය තමයි අවයව වෙළෙඳාමට භාජනය වීම. මේ නිසා ඉතාම දැනුවත්ව, ඉතාම ප්‍රවේසමෙන්, හරියටම නීත්‍යනුකූල ආකාරයට තමයි විදේශ රැකියාවලට යා යුත්තේ. ලියාපදිංචි නොවී ගිහිල්ලා සුඩාවෙන් හෝ බරපතළ ලෙස රැවටීම්වලට ලක්වුණු පුද්ගලයන් සාමාන්‍යයෙන් වසරකට දහස  ඉක්මවා යන ප්‍රමාණයක් අපට වාර්තා වනවා.  ලියාපදිංචි නොවී ගියාම මුහුණ දෙන ගැටලුවේ බරපතළකම ගැන මුලින් හිතන්න. එය ම පුද්ගලයෙකුට මේ ප්‍රශ්නය බලපානවා කියන්නේ ඒක රැකියාවන්වල නිරත වන සමස්ත පුද්ගලයටම බලපානවා.


කාර්යාංශයේ ලියාපදිංචි නොවූ රැකියා ආයතනවලට නීතිය ක්‍රියාත්මක වන්නේ කුමනාකාරයෙන්ද?

බඳවා ගැනීමේ නීතිය පිළිබඳව 1985 අංක 21පනතේ තමයි සඳහන් වන්නේ. රැකියා සඳහා බඳවා ගැනීමේදී කාර්යාංශ බලපත්‍රය අත්‍යවශ්‍යයි. බලපත්‍රයක් නොමැතිව සිදුකරන බඳවා ගැනීම් ඕනෑම මොහොතක කව වටලලා, අත්අඩංගුවට

ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ හැකියාව කාර්යාංශයට තිබෙනවා. අපි එවැනි වැටලීම් නිරන්තරයෙන් සිදුකරනවා. සාමාන්‍යයෙන් සතියකට එකක් දෙකක්වත් වැනි වැටලීම් සිදුකරලා අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම කිසිම විදිහකට එවැනි අයට හසුවෙන්න එපා කියලා තමයි අපි කියන්නේ. මොකද තමුන්ගේ මුදල්, කාලය සියලු දේම එතැනින් ඉවරයි.  

තමන්ව රැකියාවකට යොමු කරන ආයතනය රජයේ ලියාපදිංචි බලපත්‍රලාභී ආයතනයක්ද යන්න තහවුරු කරගන්න ක්‍රමවේදයක් තිබෙනවාද?

ඔව්. අපේ පැය විසිහතරේ සේවාවට කතා කළොත් ඕනෑම අවස්ථාවකදී විනාඩි දෙකක් ඇතුළත ඒ විස්තර ලබාදෙනවා. ඒ වගේම www.slbfe.lk යන අපේ වෙබ් අඩවියෙන් තමන්ව රට යවන ආයතනය ලියාපදිංචි, බලපත්‍රලාභී ආයතනයද යන්න ක්ෂණිකව තහවුරු කරගන්න පුළුවන්.

-කැළුම් දේවින්ද-