Two-killed-in-Welisara-accident-Gas-cylinder-on-bicycle-lifted

මහබාගේ, වැලිසර පසුගියදා සිදුවූ අනතුර බොහෝ අයගේ සිත් කම්පා කරවන්නට හේතුවී තිබුණි. 16 හැවිරිදි බලපත් නැති රියදුරු දරුවෙකු තම පියාගේ මොන්ටේරෝව පදවාගෙන ගැහැණු දරුවෙකුද සමගින් ගමන් කරමින් සිටියදී පාලනයකින් තොරව රියපැදවීම නිසා වාහන ගණනාවකට හානිවූ අතර වැඩිම හානිය සිදුවූයේ මෝටර් සයිකලයක ගෑස් සිලින්ඩරයක් රැගෙන ගිය දෙන්නෙකුටය.
මෙම අනතුර නිසා මෝටර් සයිකලයේ ගිය දෙන්නාගෙන් කෙනෙකු වූ වික්‍රම ගුණසේකර අමරසිරි මහතා එදිනම මියගිය අතර සතියක පමණ කාලයක් රෝහල්ගතව සිටි අනෙක් කෙනාවූ මියගිය අයගේ 17 හැවිරිදි ඥාති පුතු රෝහලේදී මියගියේය.


මෙම අනතුර සිදුවන අවස්ථාවේ රටේ අධික ගෑස් හිඟයක් පැවතුණ අතර මෝටර් සයිකලයේ ගිය අමරසිරි මහතා ගමන් කරමින් සිටියේ පිරවූ ගෑස් සිලින්ඩරයක් සමගිනි. අනතුරින් පසු සිලින්ඩරය පාරේ පැත්තකට ගිය නමුත් එය පසුව අතුරුදන්ය. කවුරුන් හෝ අයෙකු අවස්ථාවාදීව එය සොරකම් කර තිබේ.

යුද හමුදාවේ සේවයෙන් විශ්‍රාම ගොස් තමන්ගේම වඩුමඩුවක් පවත්වාගෙන ගිය අමරසිරි මහතා 51 හැවිරිදි වියේ පසුවූ අයෙකි. ඔහුට දියණියන් දෙන්නෙකු සිටි අතර වැඩිමළා උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.
දෙමහල් කුඩා නිවසක ජීවත් වූ අමරසිරි මහතා මුළු රටේම තිබුණ ගෑස් හිඟය නිසා පීඩා වින්දේය.
සිද්ධිය වූ දිනයේ ගෑස් හොයමින් ඔහු ගමන් කළේ ඥාති පුතෙක් වන 17 හැවිරිදි දිනිඳු අකලංක සමගය.  වඩු මඩුවට යමින් සිටි අතර අලුතෙන් ගෑස් ඇවිත් බව ඔහුට ආරංචි විය.
ප්‍රදේශයේ ගෑස් අලෙවිසලෙහි ගෑස් සිලින්ඩර කිහිපයක් තිබෙන අයුරු දුටු ඔහු සතුටුවූ බව පැවසිණි. හිස් සිලින්ඩරය ගෙදර පැමිණ ලබාගෙන නැවත යනවිට ගෑස් ඉවර වේයයි බියවූ ඔහු වෙළෙඳසල් හිමියා සමග පවතින හිතවත්කම මත කතා කරගෙන හිස් සිලින්ඩරය පසුව ගෙනත් දෙන පදනමින් ලද අවස්ථාවේ පිරවූ ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගත්තේය.
අනතුර සිදුවූයේ ඔහු එය තම නිවසට දමා ආපසු ඒමේ අපේක්ෂාවෙන් යතුරුපැදිය ධාවනය කරද්දීය.
 යතුරුපැදිය ඉදිරියට ධාවනය කරන්නට හැකි වූයේ මීටර් කිහිපයක් පමණි. ඔහුට ඉදිරියෙන් වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාර මැද ඇති බාධකයටද ඉහළින් මාර්ගයේ අනෙක් පසට ගමන් කරමින් අමරසිරි පැදවූ යතුරුපැදියද යට කරගෙන ඉදිරියට ගොස් උඩු යටිකුරුව පෙරළී ගියේය.


වැදුණ පහරට අමරසිරි යන්නම ගියේය. ඔහුගේ ඥාති පුතා රෝහලේ මරුවා හා දවස් හතක් සටන් කර පැරදුණේය. මියගිය දිනිඳු අකලංක මෙවර උසස් පෙළ විභාගයට ලියන්නට සිටි සිසුවෙකි.

මෙම සිදුවීම ​අතරේ කවුදෝ කෙනෙකු ගෑස් සිලින්ඩරය ‘උස්සා‘ තිබුණි. අනතුර අවස්ථාවේ එතැන එක් රොක්වූ සිය ගණනක් අතරේ ඒ වැඩේ කළ කෙනා පැහැදිලි නැත. නමුත් ගෑස් ටැංකිය හමු නොවූ බව පොලිසියද තහවුරු කළේය.
මනුස්සකම් යටට ගොස් නැති බැරිකම් උඩට ආ ළඟපාත අයකු මේ තියන ප්‍රශ්න වලට සරල විසඳුමක් සොයන්නට එසේ කළා විය හැකිය. නමුත් එය එතරම් ගෝචර නොවේ.
වගකීමක් නැතිව සෙල්ලමට දරුවන්ට රිය පදවන්න දුන් වැඩිහිටියන් නිසා අද පවුල් දෙකක් දුකට පත්ව ඇත.