afgan-cricket-asgar-fairwell

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් ලෙස අබුඩාබිහිදී 30දා පැවති තරගයකින් නැමීබියා කණ්ඩායම පරාජය කළ ඇෆ්ගනිස්තානයට දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට යාමට හැකි විය.  කෙසේ නමුත් මෙම තරගයෙන් අනතුරුව  ඇෆ්ගනිස්තානයේ අස්ගාර් ඇෆ්ගාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය. හිටපු නායකයෙකුද වන 33 හැවිරිදි අස්ගාර්, තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම සිය සමුගැන්ම සිදුකිරීම විශේෂත්වයකි.






ටෙස්ට් තරග 03කට හා එක්දින තරග 114කට ක්‍රීඩා කර ඇති අස්ගාර්, ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයෙකු  ලෙසින් හැඳින්වෙයි. ඔහු ඊයේ (31දා) ක්‍රීඩා කළේ සිය 75වැනි විස්සයි20 තරගයටයි.  ඇෆ්ගනිස්තානයේ පළමු ටෙස්ට් නායකයා වන ඇෆ්ගානි, එරටින් මේ දක්වා බිහි වූ සාර්ථකම ක්‍රිකට් නායකයා වෙයි. ඔහු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව වත්මන් සාර්ථකත්වය කරා  ගෙන ඒමට දැඩි දායකත්වයක් හා කැපවීමක් කළ ක්‍රීඩකයෙකු ලෙසින් හැඳින්වෙයි. 2009 වර්ෂයේදී ස්කොට්ලන්තයට එරෙහිව අන්තර්ජාතික වරම් දිනාගත් ඇෆ්ගානි, අන්තර්ජාතික ලකුණු 4,000කට වඩා  රැස්කර ඇත. එමෙන්ම ඇෆ්ගනිස්තානය අන්තර්ජාතික තරග 115ක් මෙහෙයවීමටද ඔහු සමත්ව ඇත.   එහිදී අන්තර්ජාතික විස්සයි20 තරග 52ක් මෙහෙයවා ඇති ඇෆ්ගානි එයින් 42ක් ජයග්‍රහණය කරවීමට සමත්ව ඇත. ඒ අනුව විස්සයි20 පිටියේදී ඉන්දියාවේ එම්.එස්  දොනි, විරාත් කෝලි හා පාකිස්තානයේ ෂෆ්රාස් අහ්මඩ් අභිභවමින් වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් (81.73%) සහිත  නායකයා ලෙසින්ද ඇෆ්ගානි වාර්තාවක් තබා ඇත.

 -ඕෂිත වරකපිටිය-