agrahara-update

විශ්‍රාමිකයන් සදහා අග්‍රහාර රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් නිකුත් කෙරුණු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවන්නට රජය තීරණය කර තිබේ.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සදහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම යයි පවසමින්  මෙම චක්‍රලේඛය නිකුත් කෙරුණේ පසුගිය 29 වනදා වන අතර ඒ අනුව සෑම විශ්‍රාම වැටුප් ලබන්නෙකුගෙන්ම මසකට මුදලක් කපාගනිමින් ඒවා අග්‍රහාර අරමුදලකට බැර කරන බව දක්වමින් සංශෝධනයක් යෝජනා කර තිබුණි.
මෙම රක්ෂණ ක්‍රමයට කැමති නැතිනම් ඉවත් විය හැකි බවද විකල්පයක් පැවති අතර මාසයක කාලයක් තුළ ඒ බව ලිඛිතව දැන්වීමෙන් ඉවත්විය හැකි බවට දන්වා තිබුණි.


එය නිකුත් කෙරුණේ 2016 ජනවාරි පළමු වනදාට පෙර විශ්‍රාම ලැබූවන් සදහා මෙන්ම වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයින් සදහා විශේෂ සහන ලබා දීම අරමුණු කර ගනිමින් බවට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසා තිබුණි.
මෙම යෝජනාවට විරුද්ධ වීම වෙනුවෙන් පසුගිය දිනවල තැපැල් කාර්යාල පිරෙන්නට විශ්‍රාමිතයින් රැස්වී සිය විරෝධතා ලියුම අදාළ අංශ වෙත යොමු කර තිබුණි.
 ඒ සම්බන්ධයෙන් මතුව ඇති විරෝධතා සලකාබලා අදාළ සියලු පාර්ශ්ව සමග නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් එම චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හටවු බව අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා නිකුත් කළ නවතම නිවේදනයේ සදහන් වේ.