ahungalla-incident

හිටපු පෙම්වතිය බව කියන තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර, ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන, පසුව ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි යැයි කියන පොලිස් භටයකු අහුන්ගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , කොළඹ ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 23 හැවිරිදි පොලිස් භටයකුය.   අහුන්ගල්ල පොලිස් වසමේ පදිංචි තරුණියක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස්  කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකාර පොලිස් කොස්තාපල්, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක විවාහ කරගන්නා පොරොන්දුව මත ඇයගේ මවුපියන්ගේ කැමැත්ත මත වසර 2ක පමණ කාලයක් තිස්සේ ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.



තරුණිය සමග පැවැති මෙම ප්‍රේම සම්බන්ධතාව ඔහු අතහැර දමා ඇති බව පොලිසිය පවසයි.  ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන අතරවාරයේ ලබාගත් බව කියන තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියා, ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇත. මෙයින් බියට පත්වූ තරුණිය, එම මුදල ඔහුට දී ඇති බවත්, එසේ මුදල් දී තිබියදීත් පොලිස් කොස්තාපල් තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත්, ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි සඳහන්ය.

සැකකාර පොලිස් කොස්තාපල් විවාහ වීමට පොරොන්දු වී සිටි නිසා, ඔහු කෙරෙහි විශ්වාසය තබා අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව ද ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.  අහුන්ගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-