ali-sabri-gnanasara

‘එක් රටක් – එක් නීතියක්’ සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර එහි සභාපතීත්වය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හට ලබාදීමට විරෝධය පා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.


තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.
එක රටක් එක නීතියක් ස්ථාපනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් තමන්ගේ උපදෙස් ලබා නොගත් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව තමන් සතුටු නොවන බව පැවසූ ඔහු මේ කමිටුව පිළිබඳව තමන් පෙර දැනුවත් කිරීමක් නොකිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.
මේ වන විටත් විවිධ සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක්ම ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට මෙම කාර්ය සාධක බලකායේ සභාපති ධුරය පිරිනැමීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ

මේ අතර එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස නම්කර සිටින කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් මහතා සදහන් කර ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් පත්කර ඇති බව දැනගත්තේ ජනමාධ්‍යවලින් බවයි.
යම් හෙයකින් කලීල් රහුමාන් මහතා ඥානසාර හිමි යටතේ එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුට එරෙහිව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂය දන්වා ඇත.



නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ ‘ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ’ නායකත්වය යටතේ ‘එක රටක්, එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවීමෙන් තමන් කම්පනයට සහ කලකිරීමට පත් වූ බවයි.