antibiotics-usage

අපට වැළඳෙන බොහෝ රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ හෙවත් බැක්ටීරියා ඖෂධ නාශක භාවිත කරනු ලබයි. එයට හේතුව මිනිසාට වැළඳෙන බොහෝ ආසාදන රෝගවලට හේතු කාරක වන්නේ විවිධ බැක්ටීරියා  විෂබීජ නිසාය. ක්ෂුද්‍ර ජීවී ගණයට අයත් වන බැක්ටීරියා වර්ග ඉතා විශාල සංඛ්‍යාවක් මෙලෙස මිනිස් සිරුරේ විවිධ පටක සහ පද්ධතිවල ආසාදන ඇති කරයි.  ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, ස්නායු පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ඇතුළු මිනිස් සිරුරේ අතිශයින්ම වැදගත් සහ අත්‍යවශ්‍ය අවයව සහ ඉන්ද්‍රියන්වල බැක්ටීරියා හේතු කොටගෙන විවිධ ආසාදන ඇති වේ.

එලෙස ලිංගාශ්‍රිත රෝගද බැක්ටීරියාවන් නිසා ඇති වේ. විවිධ චර්ම රෝග සහ සම ආශ්‍රිතව ඇති වන විවිධ ආසාදන ද බැක්ටීරියා  නිසා ඇති විය හැකිය. මේ අයුරින් බලන විට මිනිස් සිරුරට  වැළඳෙන විවිධ ආසාදන රෝග විශාල සංඛ්‍යාවක් විවිධ බැක්ටීරියා වර්ග නිසා ඇති වෙයි. ම

ෙම ආසාදන රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඒ ඒ බැක්ටීරියා  ආසාදන ඇති කිරීමට හේතු වන බැක්ටීරියා  වර්ග විනාශ කළ හැකි බැක්ටීරියා   නාශක ප්‍රතිජීවක ඖෂධ භාවිත කරයි. මෙලෙස මිනිසාට වැළදෙන විවිධ බැක්ටීරියා  ආසාදන රෝග සඳහා බැක්ටීරියා  නාශක ප්‍රතිජීවක ඖෂධ පසුගිය දශක කීපය තුළම බටහිර වෛද්‍යවරුන් විසින් භාවිත කර ඇත.  බැක්ටීරියා ආසාදන රෝගයකදී එකී බැක්ටීරියා  ආසාදන රෝගයට හේතු වූ බැක්ටීරියා සොයා ගැනීම සඳහා නූතන වෛද්‍ය විද්‍යාවේ විශේෂිත වූ වෛද්‍ය පරීක්ෂණ ඇත.

එම පරීක්ෂණ 'ඇන්ටිබයිටික්ස් සින්සිටිවිටි ටෙස්ට් (Antibiotics Sensitivity Test) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම පරීක්ෂණය සඳහා ආසාදන රෝගයට හේතු වූ බැක්ටීරියාව  කෘත්‍රීම පරිසරයක වැඩීමට ඉඩ හරිනු ලබයි. එලෙස කෘත්‍රීම පරිසරයක බැක්ටරියාව වැඩීමට සැලැස්වීම 'කල්චර්’ කිරීමක් ලෙස හඳුන්වනු ලබයි. මෙම මූලික පරික්ෂණය 'කල්චර් ඇන්ඩ් ඒ බී එස් ටී' ලෙස හඳුන්වනු ලබයි. උදාහරණ ලෙස උගුරේ ඇති වූ බැස්ටීරියා ආසාදන රෝගයකදී උගුරේ සෙම මෙලෙස 'කල්චර් ඇන්ඩ් ඒ බී එස් ටී' පරීක්ෂණය භාවිත කරයි. එලෙසම රුධිරය, මුත්‍ර, තුවාළ සැරව, සෙම, ස්නායු තරලය මෙලෙස ' කල්චර් ඇන්ඩ් ඒ බී එස් ටී' පරික්ෂණයට භාජන කිරිමෙන් ඒ ඒ පටකවල සහ ඉන්ද්‍රියන්වල ඇති වී ඇති  බැක්ටීරියා   ආසාදන රෝගයට හේතු වූ බැක්ටීරියා වර්ගය සහ එම බැක්ටීරියා  විනාශ කිරිමට ලබාදිය හැකි බැක්ටීරියා නාශක ප්‍රතිජීවක ඖෂධ වර්ගය හෝ වර්ග කීපයක් හඳුනා ගැනීම සිදු කරයි.


මිනිස් සිරුරේ එදිනෙදා ඇති වන බොහෝ බැක්ටීරියා ආසාදන තිබෙන නිසා ක්‍රමවත් වෛද්‍ය පරීක්ෂණයකින් හා පාලනයකින් තොරව බැක්ටීරියා නාශක ඖෂධ වර්ග භාවිත කිරීම අද සුලබව දක්නට පවා ඉතා බරපතළ බැක්ටීරියා ආසාදන රෝගවලදී භාවිත කළ යුතු බැක්ටීරියා  නාශක ඖෂධ භාවිත කරනු ලබයි.   අද වෙළෙඳ පොළේ බැක්ටීරියා නාශක ඖෂධ වර්ග ඉතා සුලභ නිසාත් සමහර ඖෂධ වෙළෙඳසල් මෙවැනි බැක්ටීරියා නාශක ඖෂධ වර්ග නිසි වෛද්‍ය නිර්දේශයක් හෝ වට්ටෝරුවක්  නොමැතිව අලෙවි කරන නිසාත් නිසි අවබෝධයක් නොමැති සාමාන්‍ය ජනතාව ඉතා සුළු රෝග තත්ත්වයකදී වුවද බැක්ටීරියා නාශක ඖෂධ වර්ග තමන්ට රිසි සේ මිලදී ගෙන භාවිත කිරීමට පුරුදුව සිටිති. ඇත්තෙන්ම මෙය ඉතාමත්ම අනතුරුදායක ක්‍රියාවලියකි.




බැක්ටීරියා ආසාදන රෝගයකට නිසි මාත්‍රාව සහිත නිසි බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග නිසි දින හා කාල සීමා තුළ  වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව අඩු මාත්‍රාවකින් අඩු කාල සීමාවක් තුළ බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග භාවිත කිරිම නිසා බොහෝ බැක්ටීරියා  නාශක ඖෂධ වර්ගවලට මිනිස් සිරුර ප්‍රතිරෝධ දැක්වීමට පටන් ගෙන ඇත. මේ නිසා බරපතළ  බැක්ටීරියා   ආසාදන රෝග තත්ත්වයකදී වුවද
බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග මගින් ප්‍රතිකාර කිරීමේදී එම ප්‍රතිකාර මිනිස් සිරුරේ බැක්ටීරියා  ආසාදන රෝග වළක්වා ගැනීමට අපොහොසත් වන අවස්ථා බොහෝය. එලෙසම හරිහැටි අවබෝධයක් නොමැතිව බැක්ටීරියා නාශක ඖෂධ වර්ග භාවිත කිරීමෙන් මිනිස් සිරුරට ඇති වන හානිදායි තත්ත්වයන්ද දක්නට ලැබේ.

උදාහරණ ලෙස 'ක්ලෝරෝන් ෆෙනිකෝල්” බැක්ටීරියා නාශක ඖෂධය සඳහන් කළ හැකිය. එමෙන්ම 'ටෙට්ට්‍රාසා සයික්ලීන් බැක්ටීරියා නාශකය ගැබිණි අවස්ථාවේදී භාවිත කරන ගැබ්දත් මවකගෙන් බිහි වන දරුවකුගේ දත් විකෘති ස්වභාවයක් ගැනීම, සඳහන් කළ හැකිය. . බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග ඕනෑවට එපාවට කිසිසේත්  වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත නොකළ යුතුය. එම ඖෂධ රෝගීන්ට නිර්දේශ කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසිනි. එමෙන්ම බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් මත නියම මාත්‍රාව නියමිත දින ගණනකට ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග යටත් පිරිසෙයින් නියමිත මාත්‍රාව මත දින 05ක් වත් ගත යුතුවේ.


බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග අනිසි ලෙස වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත කිරිම නිසා ශ්‍රී ලංකාවේදී ඉතා සරල බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග කෙරෙහි බහුතරයක් වූ ජනගහනයක් අතර ප්‍රතිරෝධක ඇති වී ඇත. එනම් සරල රෝග වළක්වා ගැනීම සඳහා අක්‍රියකාරි වීමක් ඇති වී තිබේ.  මෙම තත්වය 'රෙසිස්ටන් හෙවත් ප්‍රතිරෝධ තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. බැක්ටීරියා  ක්ෂුද්‍ර ජීවීන් ඉතා පහසුවෙන් වෙනස් වන විවිධ ස්වභාවයක් ගන්නා ක්ෂුද්‍ර ජීවියෙකි. එම නිසා බල්ගේරියා නාශක ඖෂධ වර්ගවලටද විනාශ නොවී ඔරොත්තු දීමට බැක්ටීරියා  හැඩ ගැසේ. මේ නිසා මීට වසර ගණනාවකට ප්‍රථම ඉතා පහසුවෙන් විනාශ කළ හැකි විශේෂ වූ බැක්ටීරියාවක් විනාශ කළ හැකි බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග අද එම බැක්ලේරියාව විනාශ කිරීමට නොහැකි තත්වයකට පත්ව තිබේ.



ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය පර්යේෂණ ආයතනවල බැක්ටීරියා ආසාදන රෝග මර්දනය කිරීම පිළිබඳව තවමත් විවිධ පරීක්ෂණ සිදු කෙරේ. අලුත් බැස්ටීරියා නාශක ඖෂධ වර්ගද දිනපතා නිෂ්පාදනය කරනු ලැබේ. මුඛයෙන් ගත හැකි බැක්ටීරියා  නාශක ඖෂධචර්ග මෙන්ම රුධිරයට කෙළින්ම එන්නත් කළ හැකි බැස්ටීරියා නාශක ඖෂධ වර්ගද නිරතුරුවම මෙවැනි පරික්ෂණාගාරවලදී නිෂ්පාදනය කරනු ලබයි. වෛද්‍ය උපදෙස් මත බරපතළ රෝග තත්වයන්හිදී එක් බැස්ටීරියා රෝගයකට බැක්ටීරියා නාශක ඖෂධ එක් වර්ගයකට වඩා ලබා ගැනීමද සිදු  කෙරේ.

බැක්ටීරියා නාශක ඖෂධ වර්ගවල විවිධ අතුරු ප්‍රතිවිපාක පිළිබඳවද නිරතුරුවම වෛද්‍ය පරික්ෂණ ආයතනවලදී පරික්‍ෂණ පැවැත්වේ .   අවාසනාවකට ශ්‍රී ලංකාවේ සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් අසරණ රෝගීන්ට බැක්ටීරියා නාශක ඖෂධ වර්ග හිතුමතේට ලබාදීම නිසා ඉතා අවාසනාවන්ත තත්වයකට රෝගීන් පත් වන අවස්ථා අප දැක ඇත. විවිධ කුඩු වර්ග සහ බොන බෙහෙත්වලට බැක්ටීරියා නාශක ඖෂධ වර්ග එක් කිරීමත්, බැක්ටීරියා නාශක ඖෂධ වර්ග කුඩු කර රෝගීන්ට ලබාදීමත් මෙවැනි පුද්ගලයන් විසින් සිදු කරනු ලබයි. මෙය ඉතාමත් භයානකය. ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ මර්දනය වුවත් මෙවැනි ක්‍රියා නිසා ඉතා බරපතළ අතුරු ආබාධ හා රෝග ඇති විය හැකිය.  මේ නිසා කිසිවිටකත් තමන් විසින්ම බැක්ටීරියා  නාශක ඖෂධ වර්ග ලබාගැනීම හෝ නුසුදුසු පුද්ගලයන් ලබා දෙන බැක්ටීරියා නාශක ඖෂධ වර්ග භාවිත කිරීම කිසිවිටකත් නොකළ යුතුය.

-දොස්තර ජයලත් ජයවර්ධන