bad-weather-2-kills

අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් සය හැවිරිදි දරුවකු ඇතුළු දෙදෙනකු මියගොස් පවුල් 1273 කට අයත් පුද්ගලයන් 5119 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

රත්නපුර,නුවරඑළිය,මහනුවර,මුලතිව්,යාපනය,බදුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතට ඉකුත් 23 වැනිදා සිට ඇද හැලුණු අධික වැසි,සුළං,නාය යෑම් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය කියයි.

ආණමඩුව,ඌරියාව ප්‍රදේශයේ පෙරේදා (30 වැනිදා) සිදුවූ අකුණු සර වැදීමකින් හය හැවිරිදි කුඩා දරුවෙකු මියගිය අතර

බණ්ඩාරවෙල, හල්පේ, දිවුල්ගස්තැන්න ප්‍රදේශයේදී පස්කන්දකට යටවී 31 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.

අධික වැසි තත්ත්වයත් සමග වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එම දිස්ත්‍රික්කයේ පවුල් 477 කට අයත් පුද්ගලයන් 1912 ක් පීඩාවට පත්ව ඇත.

දිස්ත්‍රික්ක හතට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 347 කට අර්ධ හානි සිදුවී ඇත. පූර්ණ හානිවී තිබෙන නිවාස ගණන තුනකි.

මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන හතකටද හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට ආසන්නව වර්ධනයවී තිබෙන අඩු පීඩන කලාපය තවමත් සක්‍රීයව පවතින නිසා අද (01 වැනිදා) දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

සාලිය කුමාර ගුණසේකර