bad-weather-alert

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) පස්වරු 07 ට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත.


 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම රතු නිවේදනය මගින් අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ උතුරු පළාත, මාතලේ , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්, ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.
මේ අතරවාරයෙහි දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සුදානමින් ඇති බව නාවික හමුදාව නිවේදනය කර සිටියි..

ඒ අනුව ඇති විය හැකි ගං වතුර අවධානමට පෙර සුදානමක් වශයෙන් බටහිර නාවික විධානය මගින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථානගත කර ඇති අතර, ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් 24ක් බටහිර නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.



එමෙන්ම, දකුණු නාවික විධානය මගින් ද සහන කණ්ඩායමක් (01) උඩුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩලමත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇති අතර, ක්ෂණිකව ස්ථාන ගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 07ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇති බව සඳහන්ය.

දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත සහන කණ්ඩායම් කඩිනමින් යෙදවීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටින බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.