bexleyheath-two-children-and-two-women-die-in-london-sri-lanka

එංගලන්තයේ ගිනිකොනදිග ලන්ඩනයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික සම්භවය සහිත කාන්තාවන් දෙන්නෙකු හා දරු දෙන්නෙකු මරණයට පත්වූ කම්පිත සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට පමණ බෙක්ස්ලිහීත් හි හැමිල්ටන් පාරේ නිවසක මෙම ගින්න හටගෙන ඇත.
මියගිය එක් කාන්තාවක දැවෙන දේපළ තුළ සිට තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදි “ගින්දරක් ගින්දරක්” යැයි කෑගැසූ බවද වාර්තාවී තිබේ.
වයස අවුරුදු හතරක් වන පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු එකහමාරක් වන ගැහැණු දරුවෙකු සමග කාන්තාවන් දෙදෙනෙකු මෙහිදී මියගොස් ඇත. එම කාන්තාවන් දෙන්නා දරුවන්ගේ මව හා මවගේ මවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා එන්ජින් හයකින් ගිනි නිවන භටයින් 40 ක් පමණ එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තාවේ.
ඉණිමඟවල්වල නගිමින් සහ හුස්ම ගැනීමේ උපකරණ භාවිතා කරමින්, කාර්ය මණ්ඩලය වැඩිහිටියන් සහ ළමයින්  ඇද ගැනීමට සමත් වූ නමුත් ඔවුන් සියල්ලන් එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
 මෙම අනතුරින් බේරුන එකම පිරිමි පුද්ගලයෙකු සිටී. නිවසේ සැමියාගේ මස්සිනා යැයි සැලකෙන ඔහු ගින්න ඇතිවූ අවස්තාවේ උඩුමහලේ ජනේලයකින් පැනීමෙන් ජීවිතයට තර්ජනයක් නොවී කකුලක් තුවාල ලබා රෝහල්ගතව සිටී.
මියගිය සියලුම අය එකිනෙකා ඥාතීන් බව වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිට මෙම පවුල මෙම නිවසට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පෙර බව පැවසේ.

ඔවුන් ද්‍රවිඩ ජාතිකයින් ලෙසද හඳුනාගන්නට ලැබේ.
ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් ජෙගා නමැති සැමියාගේ ඥාතියෙකු මෙසේ පැවසීය: "ඔහුට බිරිඳගෙන් ඇමතුමක් ලැබුණා.. ඇය කෑගසමින් සිටියා...ඇය  'ගින්නක් ගින්නක් ' කියා කෑගැසුවා. ටිකකින් ඇමතුම අවසන් වුණා. යළි ඇමතුවක් ගන්න අමාරු වුණා. බිරිය නිහඬ වුණා. "
මියගිය කාන්තාවගේ සැමියා තවම කථා කරගන්නට බැරි කම්පිත තත්වයේ සිටින බව ඔහු පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "අපි ඔහුට යෝගන් කියල කියන්නේ, ඔහුට වයස අවුරුදු 40 යි. නැන්දම්මා අද ලංකාවට පියාසර කිරීමට නියමිතව තිබුණා.
මං හිතන්නේ ඔවුන් අද ඇයව ගැට්වික් වෙත ගෙන ඒම සඳහා ඇගේ දේවල් අසුරමින් සිටි බවයි. ඔවුන් සිටියේ ඉහළ මාලයේ.. අපි හරියටම කොතැනකදැයි දන්නැහැ, නමුත් ගින්න පහළ මාලයෙන් හෝ පඩිපෙළෙන් ආරම්භ වන්නට ඇති. මස්සිනාත් උඩ තට්ටුවේ හිටියා, ඔහු ජනේලයෙන් පැන්නා, නමුත් ඔහු බේරුණා.
ඒක ඛේදවාචකයක්.මේ වගේ දේවල්වලට සූදානම් වෙන්න බැහැ. කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෝගන් මාස ​​තුනකට පෙර නිවස මිලදී ගත්තේ.. ඔහු සිද්ධිය වන විට රැකියාවේ සිටියේ. ඔහු සිල්ලර වෙළඳාමේ වැඩ කරන කෙනෙක්. දැන් ඔහුට පවුලම නැහැ.‘

ගිනිගත් නිවස අසල පදිංචි 44 හැවිරිදි ස්කොට් ජේම්ස් පැවසුවේ දුමාරය වීථියට හමා යාමත් සමඟ නිවස “ඉක්මනින් ගිනිදැල්වලින් වැසී ගිය” බවයි.
"පහළ මාලයේ ගින්න මුලින් ඇති වුණා, පසුව මුළු නිවසටම එය ගියා.

මෙහිදී පිපිරීමක් සිදු වුනේ නැහැ" ඔහු පැවසීය.
ඔහු පවුලේ අය ගැන පැවසුවේ: "මම ඊයේ ඔවුන්ව දැකලා ඔවුන්ට අත වැනුවා. මම ඔවුන්ට කතා කළේ සුබ පතන්න. එය සතුටක්. අද උදේ අවදි වී ඔවුන් මිය ගිය බව ඇසීම ඉතා කණගාටුදායකයි."
මදක් දුරින් ජීවත් වන 36 හැවිරිදි ලින්ග් හැන් පැවසුවේ නිවස ඇතුළතින් "තියුණු කෑගැසීමක්" ඇගේ පවුලේ අයට ඇසුණු බවත් ඇගේ දරුවන් ඇයට "විශාල ගින්නක් ඇති වූ" බවත්ය.

ගිනි නිවන භටයින් දරුවන් දෙදෙනෙකු නිවසින් පිටතට ගෙන යන අතර හදිසි සේවා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය ඇය දුටුවාය.

"ඔවුන් CPR කිරීමට දැඩි උත්සාහයක් දැරුවා. ඔවුන් කිසි විටෙකත් අත්හැරියේ නැහැ. ඔවුන් දරුවන් සඳහා CPR කිරීමට උත්සාහ කළා," ඇය පැවසුවාය. "මට ගොඩක් දුකයි මොකද අපිට මිනිස්සු අනතුරේ ඉන්නව දැකල එයාල වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වුණා."

ගින්නට හේතුව සැක සහිත යැයි නොසිතන අතර කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ, ඔවුන්ගේ මවගේ සහ මිත්තණියගේ ශෝකයට පත් ඥාතීන් අද එම ස්ථානයට පැමිණ ශෝක පණිවිඩ කියවන විට හඬා වැලපුණහ.

(ස්කයි නිවුස් හා මිරර් ඇසුරිනි  - Gossiplankanews.com)