bhadra-nandani-gunaratne-passed-away

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු ටෙලිනාට්‍ය නිෂ්පාදනය වූ පරාක්‍රම නිරිඇල්ලගේ ළා හිරු දහසක්  ජනප්‍රිය ටෙලි නාට්‍යයෙහි බාසුන්නැහැගේ දුව හෙවත් ධර්මදාසගේ බිරිඳ වන "රංජනී" ලෙස  රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පිනී භද්‍රා නන්දනී ගුණරත්න නොවැම්බර් 13 වැනි දා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවාය.


ටෙලි හා වේදිකා නාට්‍ය විශාල ගණනකට නිර්මාණ දායකත්වය ලබා දී ඇති ඇය  ඉංගම්මාරුව, වැටත් නියරත්, පරෙවි ධේනුව, සිවු සිය ගව්, මාරුක් මල්  මෙන්ම 2010 වසරේදී දෙරණ රූපවාහිනියේ විකාශය වූ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක් වුණු සරා ටෙලි නාට්‍යයෙහිද රඟපෑවාය.
නාට්‍ය ශිල්පියෙකු මෙන්ම සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ නැසීගිය සුසිල් ගුණරත්නයන් ඇයගේ ස්වාමිපුරුෂයා විය. සැමියාගේ නුඹ විතරක් තලඑළලුයි , මුහුණු දෙකක් , දෙනුවර දෙන්නෙක් ආදි නාට්‍යය සඳහාද ඇය රංගන දායකත්වය ලබාදී තිබේ.
1979 යුරේකා වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ඇත. සැමියා සුසිල් සමඟ එක්ව ඇය නිර්මාණය කළ දෙනුවර දෙන්නෙක් වේදිකා නාට්‍යය සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මාන ගණනක් ලැබී තිබුණි.