දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත් බිම් වල සිටින ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.



කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකටද නායයෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙයි

එසේම බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලි මීටර 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලටත් මේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ උතුරු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ වැසිත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසිත් ඇතිවිය හැකි බව එම  නිවේදනයේ දැක්වේ.