පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ආශ්‍රිතව පහත් බිම්වල රැඳී සිටින ජනතාව ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලට සිටින ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් අද හෙට සහ අනිද්දා (08,09,10) යන දිනවල ඇතිවීමේ අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.



මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවු තද වැසිද අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයඹ සහ උතුරු පළාත්වලත් මාතලේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිමේ අවදානමක් ඇත.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්‍රදේශ රැසකට නිකුත් කර තිබු නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.


අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහ ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අත්තනගලු ඔයේ දූනමලේ ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම අද පෙරවරු 10.30 වන විට මීටර 4.95ක් දක්වා ඉහළ ගොස් තිබු බවත් ඒ අනුව එම ඔය ද්‍රෝණියේ ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේය.

එම ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව සහ පහත් බිම් හරහා ඇති මාර්ග භාවිතා කරන ජනතාව මේ පිළිබඳ අධි අවදානමකින් සිටිය යුතු බව ඔහු සඳහන් කළේය.




කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 06 බැගින් (07) දින රාත්‍රියේ සිට විවෘත වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි

කැනියොන් ජලාශ වේල්ලට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුන (07) දින සිට තවදුරටත් විවෘත කර ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

මේ අතර මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බවත්, කාසල්රි ජලාශයද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහල යාම නිසා කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසා ිතබේ.

දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි.

01) කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක02) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර03) ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය04) කළුතර දිස්ත්‍රික්කයේ හොරණ – ඉංගිරිය – පාලින්දනුවර – අගලවත්ත හා බුලත්සිංහල05) කුරුණෑගල දිස්ත්‍රික්යේ මල්ලවපිටිය හා මාවතගම06) මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා උකුවෙල07) රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන – රත්නපුර – කුරුවිට – නිවිතිගල – ඇළපාත – කිරිඇල්ල – අයගම හා ඇහැළියගොඩ08) මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළේ – යටිනුවර – පස්බාගේ කෝරළේ – ගගවට කෝරළේ – උඩුනුවර – දොලූව – හාරිස්පත්තුව – පහත හේවා හැට හා උඩ පළාත09) කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට – අරණායක – බුලත්කොහුපිටිය – කෑගල්ල – රුවන්වැල්ල – රඹුක්කන සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ