එළවළු, බඩඉරිඟු සහ ධාන්‍ය ආදී භෝග වගාවලට කෘෂි රසායන සහ රසායනික පොහොර අවශ්‍යතාව මත පෞද්ගලික අංශය හරහා ආනයනය සඳහා අවසර දීමට රජය ඊයේ (22) තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. එසේ වුවද රජයේ හරිත වගා ප්‍රතිපත්තියේ වෙනසක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත් රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කළේ යැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කෘෂි රසායනික හා රසායනික පොහොර රජයේ මැදිහත්වීමෙන් තොරව පෞද්ගලික අංශය මගින් අවශ්‍යතාව මත ආනයන කළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවද සඳහන් කර ඇත.
රජය ලෙස කාබනික පොහොර බෙදාහැරීම සහ සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් කරන බවත් කාබනික පොහොර වගාව ක්‍රියාත්මක කිරීමේදී ගොවීන් නිසි ලෙස දැනුවත් කිරිමට සහ රසායනික පොහොර මාෆියාව හඳුනාගත යුතු බවත් ජනාධිපතිවරයා සාකච්ඡාවේදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් හරිත ප්‍රතිපත්තිය තුළ සිටිමින් කටයුතු කළ යුතු බවත්, රජයේ ප්‍රතිපත්තිවලට එකග නොවන නිලධාරීන්ට ඉවත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසූ බවද එහි සඳහන් වේ.
කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසඳුමක් ලබාගැනීමට පැවැති මෙම විශේෂ සාකච්ඡාවට ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක යන මහත්වරු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
0 Comments