ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නීති පැනවීම සහ පවතින නීතිය සංශෝධනය කිරීම වැනි කටයුතු සිදුකරන ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි පත්කර තිබේ. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු වන අනිල් කුම්බිලේය.  2012 වසරේදී එම ධුරයට පත්වූ අනිල් කුම්බිලේ වසර 03 බැගින් යුත් ධුර කාල 03ක් එම තනතුරේ කටයුතු කළ අතර, ඒ අනුව ඔහු තීරණය කර තිබුණේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමටයි. අයිසීසී ක්‍රිකට් කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් නියෝජනය කරමින් මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) සහ ඇන්ඩෲ ස්ට්‍රාවුස් (එංගලන්තය), රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව), ටීම් මේ (ඕස්ටේලියාව), සම්පුර්ණ සාමාජිකත්වය හිමි රටවල පුහුණුකරුවෙකු ලෙස මිකී ආතර්, ඩේවිඩ් වයිට් (නවසීලන්තය), විනිසුරුවන් නියෝජනය කරමින් රිචඩ් ඉලින්ග්වර්ත් (එංගලන්තය, අයිසීසී තරග තීරක ප්‍රධානී රංජන් මඩුගල්ල,



මෙල්බෝන් ක්‍රිකට් සමාජයේ නියෝජිත ජෝන් ස්ටෙප්සන්, අර්ධ සාමාජිකත්වය නියෝජිත කයිල් කොයෙට්සර් (ස්කොට්ලන්තය) මාධ්‍ය නියෝජිත ෂෝන් පොලොක් (දකුණු අප්‍රිකාව),කාත්තා ක්‍රිකට් කමිටුවේ නියෝජිතයා, නිරීක්ෂකයෙකු,අයිසීසී සභාපති, අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී,සංඛ්‍යා ලේඛන විශේෂඥ ඩේවිඩ් කෙන්ඩික්ස් කමිටු ලේකම් ක්ලයිව් හිච්කොක් යන මහන්ම මහත්මීහු කටයුතු කරති. මෙහි සමහර නියෝජිතයන් ඉදිරි සති වාරයේදී වෙනස් වීමටද නියමිතය.

මෙම කමිටුව ඉදිරි සභාවාරයේදී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ (DRS) සංශෝධන, ඇෆ්ගනිස්ථානු රජය තලේඛාන් පාලනයට නතු වීමත් සමග එරට ක්‍රිකට් පරිපාලනය සහ පූර්ණ සාමාජිකත්වය සම්බන්ධ ගැටලු, ටෙස්ට් ශුරතාව පැවැත්වීම යන කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් සම්බන්ධ ගැටලුව සාකච්ඡා කිරීමට මේ වන විටත් සිවු පුද්ගල කමිටුවක් පත්කර තිබේ. එහි සභාපතීත්වය සිංගප්පූරු ක්‍රිකට් සභාපති ඉම්රාන් ක්වාජාට හිමිව ඇති අතර, රෝස් මැකලම්, ලෝසන්  නායිදු සහ පාකිස්තානු ක්‍රිකට් සභාපති රමීස් රාජා යන පිරිස සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

(පැතුම් ශ්‍රී විජේරත්න)