තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සිරිල් ගාමිණී  පියතුමා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙයි.



කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ පාලක, සිරිල් ගාමිණි පියතුමා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි හා නීතිපතිවරයා ඇතුළු 07 දෙනෙකි.
පාස්කූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරිම සඳහා සුම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාව සම්බන්ධයෙන් සුරේෂ් සලෙයි මහතා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණි.
සිරිල් ගාමිණි පියතුමා පෙන්වා දෙන්නේ, ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පසු තමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව සැලවී ඇති බවය.



සිය පෙත්සම හෙට දිනයේදී කැඳවීමට දින නියම කරන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.