විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයකට ගෙන ගොස්, විදුලිය විසන්ධි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කළ උත්සාහය වැඩ කරන ජනතාව පරාජය කළ බවත්, ජනතා විමුක්ති පෙරමුණට රට විනාශ කිරීමට ඉඩ නොදෙන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ සේවකයන් පෙන්නු බවත්,  විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (3) පැවැසීය. 

විදුලි වැඩ වර්ජනයක් කර පැය 72ක් විදුලිය කපා ජෙනරේටරයක් හෝ ක්‍රියාත්මක කළ නොහැකි ලෙස ඛනිජ තෙල් සැපැයුම ද නවත්වන බවට විදුලිබල මණ්ඩලයේ ජ.වි. පෙ. වෘත්තීය සමිති නායකයා කී බවත්, ඒ අවස්ථාවේදී රජය නිශ්ශබ්දව සිටි බවත් ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ රජයට කළ විශාල අභියෝගය විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, කාර්මික නිලධාරීන් සහ විදුලි අධිකාරිවරුන් ඇතුළු සියලුම දෙනා වැඩ කර ජයගත් බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, විදුලිය විසන්ධි වීමකින්  තොරව පැය 24 පුරාම විදුලිය ලබාදීමට හැකි වූ බව කීවේය. බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එසේ පැවැසීය.