Woman-remanded-for-abusing-a-minor-girl-disguised-as-a-man

පිරිමියෙකු ලෙස වෙස් වළාගෙන බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් මාස තුනක කාලයක් අපයෝජනයට ලක් කළ 18 හැවිරිදි තරුණියක මෙම මස (24)දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා පෙරේදා (13දා) නියෝග කළේය.



එමෙන්ම අපයෝජනයට ලක්ව ඇති බව කියන 17 හැවිරිදි දැරිය වේරගල වත්ත ළමා නිවාසයේ රඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කරන ලදී.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය තවත් තරුණියක විසින් පැහැරගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බව ගලේවෙල පොලීසිය පවසයි. මෙම අදාළ දැරියගේ මව විසින් ගලේවෙල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගලේවෙල පොලීසිය මෙම අතුරුදන් වීම පිළිබඳ විවිධ පරීක්ෂණ ආරම්භ කොට තිබුණු බවත් පසුව දිවයින්නේ සෑම පොලිස් ස්ථානයකටම මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසුව මෙම තරුණියන් දෙදෙනා මාතර ප්‍රදේශයේ මුහුදු වෙරළක රැදී සිටියදී පසුගියදා මාතර පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.



පසුව මෙම දෙදෙනා ගලේවෙල පොලීසියට භාර කිරීමෙන් පසුව ප්‍රකාශ සටහන් කොට දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාරගත කළ බව ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සේනාධීර මහතා පැවසීය.මෙම බාලවයස්කාර දැරිය රවටා ගෙන දිවයිනේ ප්‍රදේශ ගණනාවක තුන් මාසයක පමණ කාලයක් රඳවාගෙන සිට තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ගන්වෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති වසන්ත කුමාර සේනාධීර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(එස්.කරුණාරත්න)