හෙරොයින් මත්ද්‍රව්‍ය  ජාවාරමේ නිරතව සිටි ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ එරාවුර් පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමකට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි.   මේ සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් ඒ තිදෙනා අතරේ හෙරොයින් මන්ද්‍රව්‍ය ජාවාරම්කරුද සිටින බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (14 වැනිදා) පැවසීය. ගල්මුල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ උප පොලිස් පරික්ෂක සියාම්දන් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එරාවුර් රෝහලට ඇතුළත් කරනු ලැබ  සිටී.




පොලිස් නිලධාරියකුට අයත් යතුරු පැදියකටද මෙම සැකකරුවන් පහරදී හානි කර  ඇතැයි පොලිසිය සඳහන් කරයි.   මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර්  පොලිස් වසමේ ආලයඩි පාරේ පදිංචිකාරිනියන් වන අවුරුදු 32 සහ අවුරුදු 30 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි. එරාවුර් පොලිසියේ උප පොලිස් පරීක්ෂක සියාම්දීන් මහතා කාන්තා පොලිස් කොස්තාපල්වරියක ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එරාවුර් කලෙයිමහල් පාරේදී පෙරේදා 13 වැනිදා වැටලීමක් සිදුකර ඇත්තේ ඔවුන්ට ලැබුණු තොරතුරක් මත බවද පොලිසිය කියයි.  වැටලීමට සහභාගිවූ පොලිස් කණ්ඩායම සැකකටයුතු යතුරු පැදියක් ක්ෂා කිරීමට ගිය අවස්ථාවේ එය පදවාගෙන ආ පුද්ගලයා එම යතුරු පැදිය ද හෙරොයින් මිලි ග්‍රෑම් 5710  ජංගම දුරකතනයක් සහ රුපියල් 1,200ක මුදලක්ද එහි දමා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.




පලාගිය ජාවාරම්කරු තවත් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සමග පොලිස් කණ්ඩායම සිටි ස්ථානයට කඩාවැදී ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර ජාවාරම්කරුට අයත් පොලිස්කාරයට ගෙන තිබූ යතුරු පැදියද රැගෙන පලාගොස් ඇතැයිද පොලිසිය කීය.  හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය, ජංගම දුරකතනය සහ මුදල් පොලිස් බාරයටගෙන ඇත. එරාවුර් පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වාගෙන යති.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය-